ඔක්. 08 - දූපත් 1192කින් සමන්විත කොදෙව් රාජ්‍යයක් වන මාලදිවයිනේ ප්‍රථම බහු පක්ෂ ජනාධිපතිවරණය අද පැවැත්වේ.
වර්ෂ 1978 සිට මාලදිවයිනේ ජනාධිපති ධුරය දරන මාලදිවයින් ජනතා පක්ෂයේ අපේක්ෂක (Maldivian People's Party) මයුමූන් අබ්දුල් ගයුම් ඇතුළු අපේක්ෂකයන් 6 දෙනෙක් මෙම ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටිති.
අනෙකුත් අපේක්ෂකයන් වන්නේ, මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (Maldivian Democratic Party) මොහමඩ් නෂීඩ්, ජනරජ පක්ෂයේ (Republican Party) ක්වාසිම් ඉබ්‍රහිම්, සමාජීය ලිබරල් පක්ෂයේ (Social Liberal Party) ඉබ්‍රහිම් ඉස්මයිල්, ඉස්ලාම් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (Islamic Democratic Party) උමර් නසීර් සහ ස්වාධීන අපේක්ෂක හසන් සහීඩ් ය.
2008 අගෝස්තු 8 වනදා සිට මාලදිවයිනේ ක්‍රියාත්මක නව ව්‍යවස්ථාව යටතේ පිහිටුවනු ලැබූ ස්වාධීන මැතිවරණ කොමිසම විසින් මෙම ජනාධිපතිවරණය මෙහෙයවනු ලබයි.
මෙම නව ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ උපරිම සේවා කාලය පස් අවුරුදු කාල සීමා දෙකකට සීමා කර ඇත.
එසේ ම ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා එක් අපේක්ෂකයෙක් 50% වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත යුතු අතර එසේ නැතිවුවහොත් දෙවන වටයේ ඡන්ද විමසීමක් ද පැවැත්වෙනු ඇත.
දෙවන වටයේ ඡන්ද විමසීම සඳහා වැඩි ම ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් අපේක්ෂකයන් දෙදෙනා සුදුසුකම් ලබති.
මාලදිවයින් මැතිවරණ නිලධාරීන් පවසන පරිදි ඡන්දදායකයින් 209,000ක් පමණ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිති.
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන උදෑසන 9.00 සිට රාත්‍රී 9.00 දක්වා විවෘතව තැබෙනු ඇත. 
මැතිවරණ විශ්ලේෂකයින් පවසන්නේ, මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මොහමඩ් නෂීඩ් ඡන්ද සටනේ ඉදිරියෙන් සිටින බවය.
එහෙත් 50%ක ඡන්ද ප්‍රතිශතයක් මුල් වටයේදී කිසිවෙකු දිනා ගනී ද යන්න අවිනිශ්චිත බව බහුතර මතය වන අතර එබැවින් දෙවන වටයක් බොහෝ දුරට පැවැත්වෙනු ඇති බව විශ්ලේෂකයින්ගේ මතය වී තිබේ. |