| දිනය 03/01/2008 |
| සටන් විරාම නීරික්‍ෂකයන් ඉවත් කර ගැනීමට සිදුවේවි |
| - එරික් සොල්හයිම් |
ජන. 03 - ශ්‍රී ලංකා සටන් විරාම නිරීක්‍ෂණ කමිටුව ඉවත් කර ගැනීමට සිදුවනු ඇති බව නෝර්වේ රාජ්‍යය පවසයි.
රොයිටර් පුවත් සේවය වාර්තා කළ පරිදි, ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාදාමයේ මැදිහත්කරු ලෙස ක්‍රියා කළ නෝර්වේ සංවර්ධන ආධාර පිළිබඳ අමාත්‍ය එරික් සොල්හයිම් මහතා මේ බව පෙන්වා දී ඇති බවය.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ අර්බුදයට සම්බන්ධ පාර්ශ්වවල විශ්වාසය පවතින තුරු සාම සාකච්ඡා සඳහා පහසුකම් සපයන්නෙකු ලෙස කටයුතු කිරීමට නෝර්වේ රාජ්‍යය අපේක්‍ෂා කරන බව ද ඔහු පෙන්වා දී තිබේ.
සටන් විරාම නිරීක්‍ෂණ කමිටුව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූයේ සටන් විරාම ගිවිසුම මත පදනම්ව බව කියා ඇති ඔහු පවතින තුළ තම නිරීක්‍ෂකයින් ඉවත් කර ගැනීම සිවිල් වැසියන්ගේ ආරක්‍ෂාව සහතික කිරීමේ ක්‍රියාවලිය දුර්වල කරන්නක් බව ද ඔහු ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත්, සටන් විරාම නිරීක්‍ෂණ කමිටුව කෙතරම් ඉක්මණින් දිවයිනෙන් පිටත් වනු ඇත්දැයි ඔහු පවසා නැත.
මීට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ සටන් විරාම ගිවිසුමෙන් යම් පාර්ශ්වයක් ඉවත් වන්නේ නම් දින 14 ට පෙර නිල දැනුම් දීමක් කළ යුතු වුව ද රජය මෙතෙක් එවැනි දැනුම් දීමක් කර නැති බවය. |
|
| පදවියේ බෝම්බ පිපිරීමක් : හමුදාවේ දෙදෙනෙක් මරුට |
ජන. 03 - යුද හමුදාවට අයත් ලොරියක් අද උදෑසන පදවිය, සිංහයාඋල්පත ප්‍රදේශයේදී පීඩන බෝම්බයකට හසුවිය. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා ඊතලයට පැවසුවේ, පිපිරීමෙන් යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවය.
මෙහිදී තවත් හමුදා සාමාජිකයින් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේය.
බෝම්බයට හසුවූ ලොරිය යුද හමුදාවට පවරා ගත් එකක් බව හමුදා ප්‍රකාශකවරයා පැවසීය. |
|
| මහේෂ්වරන්ට ශෝකය පළකරමින් පිටකොටුවේ කඩ වැසේ |
ජන. 03 - එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. මහේෂ්වරන් මන්ත්‍රීවරයාගේ ඝාතනයට සම්බන්ධ බවට සැකපිට තවත් පුද්ගලයින් තිදෙනෙකු යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව හමුදා ප්‍රකාශක බ්‍ර්ගේඩියර් උදය නානායක්කාර මහතා පැවසීය.
ඔහු සඳහන් කළේ, මොවුන් රඳවාගෙන සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරන බවය.
මේ අතර ඝාතනයට ලක්වු ටී. මහේෂ්වරන් මන්ත්‍රීවරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සවස බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.
මේ අතර, ඝාතනය කෙරුණු ටි. මහේෂ්වරන් මහතාගේ අභාවය පිළිබදව ශෝකය පළකිරීම සඳහා පිටකොටුව ප්‍රදේශයේ වෙළෙද සල් රැසක් අද පෙරවරුවේ සිට වසා දමා තිබිණ.
මෙසේ වසා දමා තිබුණේ, පිටකොටුව 4 වන හරස් වීදිය සහ කේසර් වීදියේ වෙළෙද සල් රැසකි. ඊට අමතරව පළමු සහ දෙවන හරස් වීදි සහ ප්‍රධාන වීදියේ වෙළෙද සල් රැසක් ද වසා දැමීමට වෙළෙද සල් හිමියෝ පියවර ගත්හ.
ඔවුන් පැවසුවේ, අද දින සියලුම වෙළෙද සල් හිමියන් ටී. මහේෂ්වරන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා සහභාගී වීමට නියමිතව තිබීමද මෙලෙස වෙළෙද සල් වසා දැමීමට හේතු වී ඇති බවයි.
  
|
|
| ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති අර්ජුන රණතුංග |
ජන. 03 - ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුකමිටු සභාපති අර්ජුන රණතුංග මහතා පත් කර ඇත.
මාස 6 ක කාලයක් රණතුංග මහතා එම තනතුර හොබවනු ඇතැයි ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රාෆුල් හක් මහතා පැවසීය.
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස මීට පෙර කටයුතු කළේ, ක්‍රිකට් අතුරු කමිටුවේ හිටපු සභාපති ජයන්ත ධර්මදාස මහතාය. ධර්මදාස මහතා එම තනතුර හෙබවු කාලසීමාව වසර එකහමාරකි.
ඔහුගේ ඉල්ලා අස්විමත් සමග නව ක්‍රිකට් අතුරු කමිටු සභාපතිවරයාට ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරය හිමිව තිබේ. අර්ජුන මෙම ධුරයට පත් 5 වැනි ශ්‍රී ලාංකිකයාය.
මීට පෙර, ගාමිණි දිසානායක, උපාලි ධර්මදාස, තිලංග සුමතිපාල, යන මහත්වරුන් මෙම තනතුරේ කටයුතු කළහ. |
|
| ලාෆ්ස් ගෑස් රුපියල් 212 කින් ඉහළට |
ජන.03 - ගෘහස්ත ලාෆ් ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 212 කින් ඉහළ දැමීමට පාරිභෝගික අධිකාරිය අවසර ලබා දී තිබේ.
ලාෆ් ස් ගෑස් සමාගම පැවසුවේ, නව මිල අද සිට ක්‍රියාත්මක වන බවය. ඒ අනුව, අනුව කිලෝග්‍රෑම් 12 යි දශම 5 ගෘහස්ත ලාෆ් ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1460 ක් දක්වා ඉහළ යනු ඇත.
මේ අතර, ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි ෂෙල් ගෑස් මිල රුපියල් 175 කින් ඉහළ දැමිණි.
ගෘහස්ත ෂෙල් ගෑස් සිලින්ඩරයක වත්මන් මිල රුපියල් 1488 ක්. |
|
| මහේෂ්වරන් අවමගුලට විශාල ජනකායක් |
ජන. 03 - ඝාතනයට ලක්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ටී. මහේෂ්වරන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද රාත්‍රී 7.30 ට පමණ බොරැල්ල කනත්තේදී සිදු කෙරිණ.
ඊට දේශපාලන පක්ෂ නියෝජිතයින්, බහුජන සංවිධානවල නියෝජිතයින් ඇතුළු අති විශාල පිරිසක් එක්ව සිටියහ.
වැල්ලවත්තේ පිහිටි නිවසේදී මහේෂ්වරන් මහතාගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදුකෙරුණු අතර පස්වරු 2.30 ට පමණ දේහය රැගත් අවමංගල්‍ය පෙරහැර ගමන් ආරම්භ කළේය.
අවමංගල්‍ය පෙරහැරට එක් වූ ඇතැම් සංවිධාන ඝාතනයට විරෝධය පළකළේ පුවරු ප්‍රදර්ශනය කරමිනි.
ඇතැම් පිරිස්, මුහුණ කළු රෙදි කඩකින් ආවරණය කර ඝාතනයට විරෝධය පළ කරමින් අවමගුල් පෙරහැරේ ගමන් කරනු දක්නට ලැබිණ.
මේ අවස්ථාවට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද එක්ව සිටියේය. |
|
| සටන් විරාමයෙන් ඉවත්වීම නෝර්වේ රජයට දැනුම් දෙයි |
ජන. 03 - සටන් විරාම ගිවිසුමෙන් ඉවත්වීමේ තීරණය රජය වෙනුවෙන් විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා විසින් නෝර්වේ රජයට අද පස්වරුවේ දැනුම් දෙනු ලැබ තිබේ.
විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ, ඒ සම්බන්ධයෙන් වන ලිපිය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිවරයාට භාරදුන් බවය.
සටන් විරාම ගිවිසුමේ 4 වන වගන්තියේ 4 වන උප වගන්තිය අනුව ඉන් ඉවත්වීමට දින 14 කට පෙර නෝර්වේ රජයට දැනුම් දිය යුතුය. ඒ අනුව ජනවාරි 16 වැනිදා සිට සටන් විරාම ගිවිසුම අහෝසි වන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සදහන් වේ.
එම නිවේදනයේ දැක්වෙන්නේ, මීට අමතරව සටන් විරාම නිරික්ෂණ කමිටුව ස්ථාපනය කිරීමේදී ඇතිකරගත් එකගත්වයන්ට අනුකූලව එම කමිටුවේ කටයුතු ද එදින සිට අහෝසි වන බවය.
මේ අතර, සටන් විරාම ගිවිසුම අහෝසි කිරීමට රජය ගත් බරපතල තීරණය පිළිබඳව තමන් අතිශය කණගාටුවන බව නෝර්වේ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබද අමාත්‍ය එරික් සොල්හයිම් මහතා පවසයි.
ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වී ඇති අවස්ථාවකදී අදාළ තීරණයට එළඹ ඇති බැවින් මේ සමග එම ප්‍රචණ්ඩ ක්‍රියා තවදුරටත් උත්සන්න වනු ඇති බව සොල්හයිම් මහතාගේ අදහස වී තිබේ.
සටන් විරාම ගිවිසුම අහෝසි කිරීමට ගෙන ඇති තීරණය මූලිකවම ශ්‍රී ලංකා සටන් විරාම නිරික්ෂණ කමිටුව කෙරෙහි ද බලපාන බව එරික් සොල්හයිම් මහතා නිකුත් කර ඇති නිවේදනයක සදහන් වේ. එමගින් සිවිල් ජනතාව ආරක්ෂා කිරීම සදහා දරන ප්‍රයත්නයන් දුර්වල කෙරෙනු ඇති බව ඔහු අවධාරණය කරන අතර එය වඩාත්ම කණගාටුදායක තත්ත්වයක් බව ඔහුගේ අදහස වී ඇත. |
|
| මර්වින් සිල්වා ගැන විභාග කිරීමට ශ්‍රීලනිපයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් |
ජන. 03- අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක් පසුගියදා ජාතික රූපවාහිනියට ඇතුළු වී ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීම සදහා විශේෂ ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ.
මෙම තීරණය ගෙන ඇත්තේ, අද සවස ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජෙෂ්‍යඨ ප්‍රකාශකයෙකු ඊතලයට පැවසුවේ, මෙම කමිටුවට ජෝන් සෙනෙවිරත්න, නිමල් සිරිපාල ද සිල්වා යන අමාත්‍යවරුන් සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මව්ලානා මහතා ඇතුළත් බවය.
මෙම කමිටුවේ නිර්දේශවලින් අනතුරුව මේ පිළිබදව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මට්ටමෙන් තීරණයක් ගන්නා බව ද එම ප්‍රකාශකයා අප සමග පැවසීය. |
|
| මහේෂ්වරන් ඝාතනය සම්බන්ධයෙන් තවත් තිදෙනෙක් අත්අඩංගුවට |
ජන. 03 - එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. මහේෂ්වරන් මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව පොලිස් රැකවරණ මත රෝහල්ගතව සිටින සැකකරුගෙන් ඊයේ පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා සඳහන් කළේ, ඔහුගෙන් හෙළි වූ තොරතුරු මත එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 8 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවය.
මෙම සැකකරු නැවතී සිටි වත්තල ප්‍රදේශයේ නිවසක් හදිසි පරීක්ෂාවට ලක්කිරීමෙන් පසු සොයාගන්නා ලද ජීව උණ්ඩ සම්බන්ධයෙන් ද වැදගත් තොරතුරු රැසක් හෙළිවී ඇතැයි පොලීසිය පවසයි.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. මහේෂ්වරන් මන්ත්‍රීවරයාගේ ඝාතනයට සම්බන්ධ බවට සැකපිට තවත් පුද්ගලයින් තිදෙනෙකු යාපනය ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගත් බව හමුදා ප්‍රකාශක බ්‍ර්ගේඩියර් උදය නානායක්කාර මහතා පැවසීය.
මේ අතර ඝාතනයට ලක්වු ටී. මහේෂ්වරන් මන්ත්‍රීවරයාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද සවස බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය. |
|
| |
| |
| |
| |