Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
   
 
 
 
 
දිනය 03/04/2008
හකීම්ට සැපයූ ආරක්ෂාවේ වෙනසක්
අප්‍රේල් 03 - ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකිම් මහතාට ලබා දී තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි ආරක්ෂාව වෙනුවට පළාත් සභා මැතිවරණ අපේක්ෂකයෙකුට ලබා දෙන ආරක්ෂාව ලබා දී තිබෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය.

නීතිපතිවරයා මේ බව දැනුම් දුන්නේ, පොලිස්පතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් මෝසමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරමිනි.

සිය ආරක්ෂාව ඉවත් කිරිමට එරෙහිව රවුෆ් හකීම් මහතා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේදී නීතිපතිවරයා එකඟත්වය පළ කර තිබුණේ, ආරක්ෂක වාහනයක් හා ආරක්ෂක නිලධාරීන් රවුෆ් හකීම් මහතාට ලබා දීමටය.

පසුගිය පෙබරවාරි 11 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට එවැනි එකඟත්වයක් පළකර තිබුණ ද, රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඊයේ ඉල්ලා අස් වීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි ආරක්ෂාව වෙනුවට ඔහුට පළාත් සභා මැතිවරණ අපේක්ෂකයෙකුට ලබා දෙන ආරක්ෂාව ලබා දෙන බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

ලාංකික කතක් කුවෙට්හිදී සියදිවි හානි කර ගනී
අප්‍රේල් 03 - ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් කුවෙට් රාජ්‍යයේදී සිය දිවි හානි කර ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එරට පොලිසිය පුළුල් පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ සබඳතා අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එල්.කේ. රුහුණගේ මහතා පැවසුවේ, මෙම කාන්තාව සේවා ස්ථානයේ ඇති වූ ගැටලු හේතුවෙන් අදාළ රැකියා නියෝජිත ආයතනයට රැකවරණ පතා පැමිණ සිට ඇති බවය.

රැකියා නියෝජිත ආයතනයේ භාරයේ පසු වූ ඇය මෙලෙස ගෙළ වැළලා ගෙන සිය දිවි හානි කර ගෙන ඇති බවට එම ආයතනය එරට පොලිසියට දැනුම් දී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් රැකියා නියෝජිත ආයතනයේ කිහිප දෙනෙකු කුවේට් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රටවල් කිහිපයකින් සහල් මෙරටට
අප්‍රේල් 03 - එළඹෙන උත්සව සමය වෙනුවෙන් ඉන්දියාව, පකිස්ථානය සහ මියන්මාරය යන රටවලින් සහල් ආනයනය කිරීමට රජය බලාපොරොත්තු වෙයි.

පාරිභෝගික කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ, විශේෂ අවස්ථාවක් ලෙස සලකා සහල් ආනයනය කරන බවය.

සහනදායී මිලක් යටතේ ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් සහල් ආනයනය කරනු ලබන්නේ, ඉන්දියාවෙනි.

එහෙත්, බාස්මතී හැර අනෙකුත් සියලු සහල් අපනයනය තහනම් කිරීමට පසුගියදා ඉන්දීය රජය තීරණය කළේය.

මෙම තහනමත් සමග ඉදිරියේදී සහල් මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක් මතු වන බව පිටකොටුව පැරණි යොන් වීදිය වෙළෙඳ සංගමය පෙන්වා දෙයි.

පසුගිය දිනවල ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් මෙරට වී වගාවට විශාල වශයෙන් හානි සිදුවූ නිසා මෙම තත්ත්වය ද වෙළෙද පොළ තුළ සහල් මිල ඉහළ යාමට බලපා ඇත.

පිටකොටුව වෙළෙඳ පොළෙහි මේ වන විට සම්බා සහල් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 80 ඉක්මවා ඇති අතර රතු කැකුළු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 65 ක මිලට පවතී.

රජය යටතේ 'ශ්‍රී ලංකන්' මෙහෙයුම් ඇරඹේ
අප්‍රේල් 03 - රජයේ පාලනයට ගැනුණු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් කටයුතු අද ආරම්භ විය.

ඒ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

1979 වසරේ ජූලි මාසයේදී "එයාර් ලංකා" නමින් මෙරට තුළ ගුවන් සේවයක් ස්ථාපනය කෙරුණේ, එවකට පැවති "එයාර් සිලෝන්" නමැති ගුවන් සේවය වසා දමමිනි.

"එයාර් ලංකා" ආරම්භයේ සිංගප්පුරු ගුවන් සේවයෙන් කල් බදු පදනම මත ලබා ගත් බෝයිං 707 වර්ගයේ ගුවන් යානා දෙකකින් සිය මෙහෙයුම් කටයුතු සිදු කෙරිණ.

1990 දශකය වන විට "එයාර් ලංකා" ගුවන් සේවය ක්‍රියාත්මක වූ ගමනාන්ත සංඛ්‍යාව 26 කි.

නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් 1992 වසරේ දෙසැම්බර් මාසයේදී ඊට ඒ -320 වර්ගයේ ගුවන් බසයක් මුල් වරට මිලදී ගැනිණ.

එම ගුවන් සේවයෙහි කොටස් ප්‍රමාණයක් පෞද්ගලික අංශයට ලබා දීමට 1998 වසරේදී තීරණය විය.

ඩුබායිහි එමිරේට්ස් ආයතනය සමග ශ්‍රී ලංකා රජය දස අවුරුදු උපාය මාර්ගික සහයෝගිතාවකට එළැඹුණේ ඒ අනුවය.

ඒ අනුව, එයාර් ලංකා සමාගමේ කොටස්වලින් සියයට 40 ක් කළමනාකාරීත්වය සමග එමිරේට්ස් සමාගමට පැවරුණු අතර ඒ සමගින් එය ශ්‍රී ලංකන් ගුවන් සේවය ලෙස නම් කෙරිණ.

අනතුරුව 1999 සහ 2000 අතර කාල සීමාව තුළ ශ්‍රි ලංකන් ගුවන් සේවයට ඒ -330, ඒ - 340 සහ ඒ - 320 ගුවන් බස් එක් කර ගැනිණ.

විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ වනවිට රටවල් 22 ක ගමනාන්ත 41 ක් දක්වා සිය සේවා ව්‍යාප්ත කර තිබේ.

මේ වනවිට සමාගමේ ශ්‍රී ලංකා රජය සතු කොටස් ප්‍රමාණය සියයට 51. 05 කි.

එමිරේට්ස් ගුවන් සේවයට සියයට 43. 63 ක කොටස් ප්‍රමාණයක් හිමිව ඇති අතර සෙසු සියයට 5 යි දශම 32 ක කොටස් හිමිව ඇත්තේ, සේවකයින්ටය.

නව කළමනාකරණ වැඩපිළිවෙළ යටතේ සමාගමේ සභාපතිත්වයට ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පත් කර ඇති අතර නිශාන්ත වික්‍රමසිංහ, ලලිත් ද සිල්වා සහ සුනිල් විජේසිංහ යන මහත්වරුන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස පත්ව සිටිති.

එමිරේට්ස් ආයතනය නියෝජනය කරන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන්නේ, ටිම් ක්ලාක්, ගැරි චැප්මන් සහ නයිජල් හොප්කින්ස් යන මහත්වරුන්ය.

සා/පෙළ වැඩිදෙනා ගණිතය සමත්

අප්‍රේල් 03 - පසුගිය වසරට සාපේක්ෂව මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී වැඩි පිරිසක් ගණිතය විෂයය සමත් වූහ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළ පරිදි මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වූ සිසුන්ගෙන් ගණිතය විෂයය සමත් වී ඇති ප්‍රතිශතය 50.2% කි.

පසුගිය වසරේදී එම තත්ත්වය ආසන්න වශයෙන් 40% ක් විය.

පසුගිය වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගයට අපේක්‍ෂකයෝ 529,120 ක් පෙනී සිටියහ.

ඉන් 399,163 දෙනෙක් පාසල් අයදුම්කරුවෝ වූහ.

නැගෙනහිරට නාම‌යෝජනා භාරගැනීම අද අවසන්
අප්‍රේල් 03 - නැගෙනහිර පළාත් සභා මැතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීම අද දහවල් 12 ට අවසන් කෙරේ.

ඉන් අනතුරුව පැයක කාලයක් නාමයෝජනා වලට අදාළ විරෝධතා ඉදිරිපත් කිරිමට වෙන් කෙරෙනු ඇත.

එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක තුන සදහා අද නාමයෝජනා භාරදීමට නියමිතය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයේජනා ලැයිස්තු සියලු ජනවර්ග නියෝජනය වන පරිදි සකස් කර ඇතැයි එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසන්නේ තම පක්ෂයේ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සමබර නියෝජනයක් ලැබෙන පරිදි නාමයෝජනා සකස් කර ඇති බවය.

බඩු මිලට එරෙහිව වළං බිඳියි

අප්‍රේල් 03 - ඉහල යන ජීවන වියදම ඇතුළු කරුණු ගණනාවක් මුල් කරගනිමින් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන දීප ව්‍යාප්ත උද්ඝෝෂණ මාලාව අද පෙරවරුවේ ආරම්භ විය.

එම පක්ෂය ප්‍රකාශ කළේ, මැතිවරණ කොට්ඨාස 140 ක් පුරා මෙම උද්ඝෝෂණය පැවැත්වුණු බවය.

නැ'හිර එජනිස මන්ත්‍රීවරු තිදෙනෙක් වෙනම කණ්ඩායමකට
බෝම්බකරු පැමිණියේ යතුරු පැදියකින්
කොටුවේ පිපිරීම : මිය ගිය ගණන 9 යි
කොටුවේ පිපිරීම : 8 දෙනෙක් මිය යති
පොලිස් බස් රියකට බෝම්බ ප්‍රහාරයක්
පොලිස් නිලධාරියෙක් ඝාතනය කෙරේ
එල්.ටී.ටී.ඊ. ඉලක්ක දෙකකට ගුවන් ප්‍රහාර
ඉන්දීය අත්අඩංගුවේ සිටි ලාංකික ධීවරයින් 45ක් අද පැමිණේ
ශ්‍රී ලාංකිකයෙකුට කුවේටයේදී මරණ දඬුවම
විදේශගතවීමට තැත් කළ බාලවයස්කාරියන් අධිකරණය හමුවට
නැගෙනහිර මන්ත්‍රීන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක්
ආගමික ස්ථානවලට 30% ක විදුලි ගාස්තු සහනයක්
තුවාල ලත් වැඩිදෙනා පොලිස් නිලධාරීන්

මැයි 16 - කොළඹ කොටුවේ සිදුවූ බෝම්බ පිපිරීමෙන් තුවාල ලැබුවන්ගෙන් වැඩි දෙනෙක් කොටුව පොලිසියට අනුයුක්තව සේවය කළ නිලධාරිහු වෙති.

පිපිරීමෙන් පොලිස් නිලධාරින් 7 දෙනෙකු හා සිවිල් වැසියන් දෙදෙනෙක් මිය ගියහ.

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ, පිපිරීමෙන් තවත් පුද්ගලයින් 85 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බවය.

 
 
 
 
 
 
 
 
Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
Privacy Statment