|
| දිනය 07/01/2008 |
| ‘ශ්‍රී ලංකන්’ කළමනාකාරීත්වයෙන් ඉවත්වීමට එමිරේට්ස් තීරණය කරයි |
ජන. 07 - එමිරේට්ස් ගුවන් සමාගම මාර්තු 31 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ කළමනාකරණ කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ.
එමිරේට්ස් ගුවන් සමාගමේ සභාපති, ටිම් ක්ලාක් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ පාර්ශවකරුවන්ගේ ගිවිසුම නැවත අලුත් නොකරන බවය.
ලබන මාර්තු 31 වෙනිදා අදාළ කළමනාකරණ ගිවිසුම අවලංගු වීමට නියමිතව තිබෙන අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකරණ කටයුතු අප්‍රේල් පළමු වැනිදා සිට රජයට පැවරෙනු ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සියයට 43 යි දශම 6 ක කොටස් එමිරේට්ස් ගුවන් සේවාවට හිමිව තිබෙන අතර එම කොටස්වල අයිතිය සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ නියෝජනය තවදුරටත් පවත්වා ගන්නා බව එමිරේට්ස් ගුවන් සමාගමේ සභාපති ටිම් ක්ලාක් මහතා ප්‍රකාශ කර සිටී. |
|
| එල්.ටී.ටී.ඊ. බවට සැකපිට ඉන්දියාවේදී දෙදෙනෙකු අත්අඩංගුවට |
ජන. 07 - එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයින් බවට සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු ඉන්දියාවේ බැංගලෝර් නගරයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි, ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.
වව්නියාව සහ යාපනය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු මෙසේ අත් අඩංගුවට පත්ව ඇති බව, මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේය.
මේ අතර, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයෙකු බවට සැකකෙරෙන පුද්ගලයෙකුට අමෙරිකානු අධිකරණයක් වසර 5ක සිර දඬුවමක් නියම කර තිබේ.
ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවසුවේ, විදේශීය ත්‍රස්තවාදී කණ්ඩායමකට සහය වීමට කුමන්ත්‍රණය කිරීම සහ මෙරටට අවි ආයුධ අපනයනය කිරිමට තැත් කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයාට එරෙහිව චෝදනා එල්ල වි තිබූ බවය. |
|
| අනුරාධපුර රෝහලේ ප්‍රතිජීවක ඖෂධ හිඟයක් |
ජන. 07 - අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිජීවක ඖෂධවල හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ, අනුරාධපුර ශාඛාවේ උප ලේකම් වෛද්‍ය අරුණ සම්පත් මහතා ප්‍රකාශ කළේ, මෙම ප්‍රතිජීවක ඖෂධ රෝහල වෙත ගෙන්වා ගැනිමේදී අනුගමනය කරන ක්‍රියා පටිපාටියේ පවතින අකාර්යාක්ෂමතාව මේ තත්ත්වයට හේතුවී ඇති බවය.
ගැටුම් හේතුවෙන් තුවාල ලබන අරක්ෂක අංශ සාමාජිකයින් වැඩි වශයෙන් ඇතුළත් කෙරෙනුයේ අනුරාධපුර ශික්ෂණ රෝහලටය.
මෙහිදී එම රෝගීන්ට ප්‍රතිජීවක ඖෂධ ලබාදිම අත්‍යවශ්‍ය වන අතර දින කිහිපයක සිට මෙම ඖෂධවල හිගයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කරයි.
මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පැවසුවේ, ‘ඇමිකසීන්’ නමැති ඖෂධයේ පමණක් හිඟයක් පවතින බවය.
|
|
| මාධ්‍යවේදී පෝද්දල ජයන්තට නාඳුනන පිරිසකගෙන් තර්ජන |
ජන. 07 - වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ ලේකම්, පෝද්දල ජයන්ත මහතාගේ කහතුඩුව පිහිටි නිවසට අද අලුයම පැමිණි කිසියම් පිරිසක් ඔහුට පහර දීමට උත්සහ දරා තිබේ.
පෝද්දල ජයන්ත මහතා සඳහන් කළේ, නිල් පැහැති ජිප් රථයකින් සහ වෑන් රියකින් මෙම පුද්ගලයින් සිය නිවසට පැමිණි බවය.
මෙම පිරිස තමන්ට තර්ජනය කර පහරදීමට තැත් කළ බව පෝද්දල ජයන්ත මහතා පැවසීය.
ඔහු සඳහන් කළේ, අදාළ ජීප් රථයේ මාතර පොලීසිය යනුවෙන් සටහන්ව තිබූ බවය.
අදාළ ජීප් රථය තම පොලිස් ස්ථානයට අයත් වූවක් බව මේ පිළිබඳව කළ විමසුමකදී මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පැවසීය.
මෙම සිද්ධිය මාධ්‍යයට එල්ල කළ තවත් බරපතල තර්ජනයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු, සුනන්ද දේශප්‍රිය මහතා පෙන්වා දෙයි. |
|
| අම්පාරේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවේ |
ජන. 07 - ඊයේ සිට ඇදහැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක පහත් බිම් යට වී තිබේ.
අම්පාර දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා පැවසුවේ, ජල ගැලීම් තත්ත්වයත් සමග පවුල් රැසක් අවතැන්ව ඇති බවය.
පොතුවිල්, තිරුක්කෝවිල්, සමන්තුරෙයි, ආලෙයාඩිවෙම්බු, අක්කරෙයිපත්තු සහ අඩ්ඩාලච්චේන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම තත්ත්වය දැඩිව බලපා ඇත.
අවතැන් වූ පිරිස් මේ වනවිට ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන ගොස් ඇති බව ද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
ඔහු සඳහන් කළේ, අවතැන්වූවන්ට අවශ්‍ය කඩිනම් සහන සැපයීමට මේ වනවිටත් කටයුතු යොදා ඇති බවය. |
|
| පළාත් කිහිපයක ජනතාවගේ වකුගඩු පරීක්ෂා කිරීමට පියවර |
ජන. 07 - උතුරු මැද, වයඹ සහ ඌව පළාත්වල පදිංචි සියලු ජනතාව මූලික වකුගඩු පරික්ෂණයකට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.
ඊට හේතුවී ඇත්තේ, එම ප්‍රදේශවල පැතිරයන වකුගඩු රෝගයට හේතුව තවමත් පැහැදිලිව හඳුනා ගැනීමට නොහැකි වීමය.
මේ වනවිට අටදහසකට ආසන්න පිරිසක් මෙම පළාත්වල වකුගඩු රෝගයට ගොදුරුව සිටින බව, සෞඛ්‍ය අමාත්‍යංශය අද කොළඹදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය විය.
උතුරු මැද පළාතේ ව්‍යාප්ත වී තිබූ වකුගඩු රෝගය මේ වනවිට වයඹ සහ ඌව පළාත්වල ද ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව, සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේ, මේ වනවිට පදවිය ප්‍රදේශයෙන්, 1200 ක්, කැබිතිගොල්ලෑවෙන් 400 ක්, පොළොන්නරුවෙන් දහසක්, මැදිරිගියෙන්, දහසකත්, ගිරාදුරුකෝට්ටෙන් 2500 ක් සහ මහියංගනයෙන් 800 ක් රෝගීන් හමුවී ඇති බවය.
මීට අමතරව කුරුණෑගල නිකවැව ප්‍රදේශයෙන් රෝගීන් 400 දෙනෙකු වාර්තාවී තිබේ. |
|
| දිළිඳුකම පිටුදැකීමේ අභියෝගය ජයගන්නවා |
- ජනාධිපති
ජන. 07 - ත්‍රස්තවාදයෙන් නැගෙනහිර මුදවා ගත්තා සේ ම දුප්පත්කම නැති කිරීමේ අභියෝගය ද ජයගන්නා බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ, උතුරේ සහ වන්නි ප්‍රදේශයේ ත්‍රස්ත ග්‍රහණයට හසුව දුක්විඳින ජනතාවට නිදහස ලබාදීම සඳහා වගකිවයුතු සියලු දෙනා භේද පසෙක ලා එක්විය යුතු බවය.
බටඅත කෘෂි තාක්ෂණ උද්‍යානය ජනතා අයිතියට පැවරීම නිමිත්තෙන් අද පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේ, ලෝක වෙළෙඳපොළ අභියෝග ජය ගැනීමට නම් දේශීය ආර්ථිකය නැංවිය යුතු බවය. |
|
| රාත්‍රියේ නිවාස සෝදිසිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් |
ජන. 07 - සාධාරණ හේතුවකින් තොරව රාත්‍රි 9 සිට අලුයම 6 දක්වා කාලය තුළ නිවාස සෝදිසියට ලක් කිරීමෙන් ආරක්ෂක අංශ වළක්වන ලෙස ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේ, හදිසි අවශ්‍යතාවක් මත කිසියම් නිවසක් එම කාලසීමාව තුළ සෝදිසියට ලක් කරන්නේ නම් අදාළ බල ප්‍රදේශයේ පොලිස් ස්ථානයට අනුබද්ධ නිලධාරින් ඒ සඳහා යොදවා ගත යුතු බවය.
මාර්ගවල ස්ථාවර සෝදිසි මුරපොළ නීත්‍යනුකුල නොවන බවට තීරණය කරමින් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය කර තිබූ නියෝගයකට අනුව ගතයුතු ඉදිරි පියවර පිළිබඳව පොලිස්පතිවරයා වෙතින් කැඳවන ලද මාර්ගෝපදේශ පිළිබඳව අද සලකා බැලූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය පැනවීය.
අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා එහිදී සඳහන් කළේ, නිවාසවල නීති විරෝධී ද්‍රව්‍ය හා සැකකරුවන් රඳවා තබා නොගන්නා බවට සැමවිට ම ගෘහ මුලිකයන් පුර්ණ වශයෙන් වගකිම් දැරිය යුතු බවය.
කොල්ලුපිටියේ සිට පාර්ලිමේන්තුව දක්වා මාර්ගය දෙපස රථවාහන නැවැත්වීම තහනම් කළ යුතු බවට රථවාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා කර තිබූ යෝජනාවක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය.
අගවිනිසුරුවරයා පෙන්වා දුන්නේ, නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ එම යෝජනාව මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය පැන වූ මාර්ග බාධක සම්බන්ධ නිගමනය මුළුමනින් ම උල්ලංඝනය කරන්නක් බවය.
එබැවින් පොලිසියේ එම යෝජනාව කිසිසේත් ක්‍රියාත්මක කිරීමට ඉඩදිය නොහැකි බව පෙන්වා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය එවැනි ඉඩක් ලබාදෙන්නේ නම් එය ජනතාවගේ ගමන් නිදහසට පනවන තහංචියක් බව අවධාරණය කළේය. |
|
|
|