| දිනය 11/01/2008 |
| එල්.ටී.ටී.ඊ. බංකර් 5 ක් විනාශ කෙරේ |
ජන. 11 - යාපනය, කිලාලි ඉදිරි ආරක්ෂක වළල්ලෙන් ඉදිරියට ගොස් ආරක්ෂක අංශ විසින් එල්.ටී.ටී.ඊ. බංකර් 5 ක් විනාශ කරනු ලැබ තිබේ.
ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවසුවේ, ඊයේ එල්ල කළ මෙම ප්‍රහාරයෙන් එල්.ටී.ටී.ඊ.යට බරපතල හානි සිදුවූ බවය.
ඊයේ දහවල්, කිලාලි ප්‍රදේශයේ පිහිටි තවත් එල්.ටී.ටී.ඊ. බංකරයකට ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පුපුරුවා හැරි බව ද මාධ්‍ය මධ්‍යස්ථානය පැවසීය.
මේ අතර, මුහමාලෙයි සහ නාගර්කෝවිල් ඉදිරි ආරක්ෂක වළල්ල නිරික්ෂණයට පැමිණි එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් තුන්දෙනෙක් හමුදා ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව තිබේ. |
| මඩකලපුව පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවයි |
ජන. 11 - මඩකලපුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවීමේ කටයුතු ආරම්භ කර ඇත.
මඩකලපුව දිස්ත්‍රික් අතිරේක සහකාර මැතිවරණ කොමසාරිස් ටී. ක්‍රිෂ්ණානන්ද ලිංගම් මහතා පැවසුවේ, මඩකලපුව දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය සභා මගින් එම අයදුම්පත් නිකුත් කරන බවය.
මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් හිමි පුද්ගලයින් ලබන 14 වෙනිදාට පෙර ඒ සඳහා අයදුම් කරන ලෙස අතිරේක සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ඉල්ලා සිටී.
නැගෙනහිර පළාත් පාලන මැතිවරණයට අදාළ නාමයෝජනා කැඳවීම ලබන 18 වෙනිදා සිට 25 වනදා අතර කාලය තුළ භාරගැනෙනු ඇත. |
| මුලතිව්හි එල්.ටී.ටී.ඊ. ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර |
ජන. 11 - පෙරවරු: 10.00 - මුලතිව්හි හඳුනාගත් එල්.ටි.ටී.ඊ. ඉලක්කයක් වෙත ගුවන් හමුදාව අද උදෑසන ප්‍රහාර එල්ල කර ඇත.
ගුවන් හමුදා ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ඇන්ඩි විජේසුරිය මහතා පැවසුවේ, උදෑසන 8.45 ට පමණ මෙම ප්‍රහාරය එල්ල කළ බවය.
අලම්පීල් ප්‍රදේශයට උතුරින් පිහිටි නයාරූ ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ මුහුදු කොටි කඳවුරක් ප්‍රහාරයේ ඉලක්කය වූ බව ගුවන් හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේය. |
| වෛද්‍ය වැඩවර්ජනයක් හේතුවෙන් රෝහල් කටයුතු අඩාළ වෙයි |
ජන. 11 - රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වෛද්‍යවරුන් මේ වනවිට දිවයිනේ සියලු ම රෝහල්වල වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.
එම සංගමයේ ලේකම් වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ප්‍රකාශ කළේ, වර්ජනය හේතුවෙන් සියලු ම රෝහල් කටයුතු අත්‍යවශ්‍ය සේවාවන්ට පමණක් සීමාවන බවය.
වැඩ වර්ජනය හේතුවෙන් දිවයිනේ රෝහල් ගණානාවක කටයුතු අඩාළ වී ඇතැයි වාර්තා වේ.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එළැඹී ඇත්තේ, පරිපාලන ගැටලු සහ වෛද්‍යවරුන්ට ප්‍රවාහන දීමනා ඇතුළු වරප්‍රසාද ලබා නොදීමට විරෝධය පළ කරමිනි.
රිජ්වේ ආර්යා ළමා රෝහල, මහරගම පිළිකා රෝහල, කාසල්විදිය කාන්තා යන රෝහල්වල මෙම වර්ජනය ක්‍රියාත්මක වන්නේ නැත.
කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හෙක්ටර් වීරසිංහ මහතා පැවසුවේ, වෛද්‍ය වැඩවර්ජනය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ කටයුතුවලට බාධා එල්ල වී ඇති බවය.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පැවසුවේ, අද දහවල් සෞඛ්‍ය බලධාරින් සමග තම ගැටලු පිළිබදව සාකච්ඡා කරන බවයි. |
මහේෂ්වරන් ඝාතන පරීක්ෂණ යටපත්වීමට ඉඩදිය නොහැකියි
- විපක්ෂ නායක |
ජන. 11 - මහේෂ්වරන් මහතාගේ ඝාතන පරික්ෂණ යටපත් වීමට ඉඩදිය නොහැකි බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
විපක්ෂ නායකවරයා පැවසුවේ, මීට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු වෙලුම්පට ිද සහිතව හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරිමට පියවර ගෙන තිබීම ද සැක උපදවන බවය.
එක් අතකින් මහේෂ්වරන් මන්ත්‍රිවරයාගේ දේහය අදාහනය කරන අතරතුර ඔහුගේ ඝාතනයට අදාළ පරික්ෂණ ද වළලා ඇතැයි විපක්ෂ නායකවරයා පැවසීය.
අභාවප්‍රාප්ත ටී. මහේෂ්වරන් මන්ත්‍රිවරයාගෙන් ශෝක ප්‍රකාශ යෝජනාවලට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා සභාවට දැනුම් දුන්නේ, පරික්ෂණවලට අදාළව තොරතුරු දීමට සිටි බොහෝ දෙනෙකුට තර්ජනය කර ඇති බව තමාට වාර්තාවී ඇති බවය.
උණ්ඩය වැදුණේ, මහේෂ්වරන් මහතාට පමණක් නොව ශ්‍රී ලාංකීය අනන්‍යතාවට බව විපක්ෂනායකවරයා ප්‍රකාශ කළේය.
ඔහු පැවසුවේ, මහේෂ්වරන් මහතා තනතුරු ලබාගැනීම සඳහා පක්ෂය පාවා නොදුන් බවය.
අයවැය සමයේදී ආණ්ඩුවෙන් මහේෂ්වරන් මන්ත්‍රිවරයාට ආරාධනා ලැබුණ ද ඔහු එසේ නොයාමෙන් අවසානයේ සිදුවූයේ ඔහුගේ ආරක්ෂාව අඩුවීම බව විපක්ෂ නායකවරයා පැවසීය.
ඔහු පැවසුවේ, ආරක්ෂාව අඩුවීම හේතුවෙන් ම ඔහු නිහඬ වූ බවය.
මේ අතර, කවරෙකු මහේෂ්වරන් මහතා ඝාතනය කළ ද එය ප්‍රජාතන්ත්‍රවාදයට පහරක් බව සභානායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
ප්‍රධාන දේශපාලන පක්ෂ කෙරෙහි දෙමළ ජනතාව තුළ විශ්වාසයක් නැතැයි පැවති මතය බොරුවක් බව මහේෂ්රවන් මහතා ඔප්පු කළ බව ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
මහේෂ්වරන් මහතාගේ අදහස්වලට හා ප්‍රකාශවලට ඉඩනොදී එම මතයට එරෙහිව ඔහුගේ ජිවතය අහිමි කළේ, එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය ද, රජය හෝ රජයට සම්බන්ධ පාර්ශවයක් ද යන්න පැහැදිලි නැතත් මෙය සිදු විය යුත්තක් නොවන බව වීරවංශ මහතා සඳහන් කළේය. |
| මරදානේ නිවසකින් ගුවන් යානා නාශක උණ්ඩ හමුවෙයි |
ජන. 11 - කොළඹ, මරදාන ප්‍රදේශයේ නිවසක් පිටුපස වළ දමා තිබූ ගුවන් යානා නාශක උණ්ඩ ඇතුළු ගිනි අවිවලට යොදන උණ්ඩ තොගයක් අද දහවල් මාලිගාවත්ත පොලිසිය විසින් සොයා ගැනිණ.
මාලිගාවත්ත ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී, ටී.වයි. රාජි මහතා සඳහන් කළේ, ඒ අතර තිබී ගුවන් යානා නාශක උණ්ඩ 20 ක්, ටි. 56 ගිනි අවි සඳහා යොදන උණ්ඩ අඩංගු මැගසීනයක් සහ පතුරම් 16 ක් ද සොයාගත් බවය.
ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ. |
| ජනාධිපති, ද.මු. දසනායකට අවසන් ගෞරව දක්වයි |
ජන. 11 - ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන අමාත්‍ය ද.මූ. දසනායක මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.
අමාත්‍ය දසනායක මහතාගේ දේහය තැන්පත් කර ඇත්තේ, ඒ මහතාගේ ආණමඩුවේ පිහිටි නිවසේය.
මේ අතර, අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා ඇතුළු තවත් මැති ඇමතිවරුන් පිරිසක් ද.මූ. දසනායක මහතාගේ දේහය සිය අවසන් ගෞරව පුද කළහ.
අමාත්‍ය ද.මූ. දසනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට ආණමඩුව ගම්උදා ක්‍රීඩාංගනයේදී සිදුකිරීමට නියමිතය.
පසුගිය 6 වැනිදා උදෑසන ජාඇළ මංසන්ධියේදී එල්ල වූ ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයකින් ද.මූ. දසනායක මහතා ජීවිතක්ෂයට පත්විය. |
| රූපවාහිනියට කඩාවැදුණු ‘නුවන්’ 18දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකෙරේ |
ජන. 11 - අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා රූපවාහිනී සංස්ථාවට කඩාවැදීමේ සිද්ධියේදී අත්අඩංගුවට පත් නුවන් උදය ගුණතිලක නමැති සැකකරු ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද ඉල්ලීමකට ඉඩ ලබාදෙමින් ඔහුගේ රක්ෂිත කාලය මෙසේ දීර්ඝ කරනු ලැබුවේ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නිශාන්ත හපුආරච්චි මහතා විසිනි. |
| මූලික අයිතිවාසිකම් කඩවුණැයි හකීම්ගෙන් පෙත්සමක් |
ජය. 11 - සිය ආරක්ෂාව අඩු කිරීම හේතුවෙන් මූලික අයිතිවාසිකම් කඩ වීම වෙනුවෙන් රුපියල් මිලියන සියයක වන්දියක් ලබාදෙන ලෙස ඉල්ලමින්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ඉදිරිපත් කළේය.
නීතීඥ ජී.ජී. අරුල් ප්‍රගාසම් මහතා මගින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සමින් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ, පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ නීතිපතිවරයාය.
පෙත්සමෙන් දක්වා ඇත්තේ, තමා අමාත්‍යවරයෙකු වශයෙන් සිටියදී විශේෂ කාර්ය බලකායේ නිලධාරින් 6 දෙනෙකු සමග ආරක්ෂක රථයක් ද, අමාත්‍ය ආරක්ෂක ඒකකයේ නිලධාරීන් 11 ක් සමග ආරක්ෂක රථයක් ද, පොලිස් නිලධාරීන් 6 දෙනෙක් ද ආරක්ෂාවට යොදවා සිටි බවය.
දෙසැම්බර් මස 12 වන දින පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගෙන අමාත්‍ය ධුරයෙන් ඉවත් වීම හේතුවෙන් තම ආරක්ෂාව නිලධාරීන් 5 දෙනෙකු දක්වා අඩු කර ඇති බව, පෙත්සමින් චෝදනා කර ඇත.
පෙත්සමින් දක්වා ඇත්තේ, කල්මුණේ, සමන්තුරේ සහ පොතුවිල් යන ප්‍රදේශවල පිහිටි තම පක්ෂ කාර්යාලවලට අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරීන් ද ඉවත් කර ඇත බවය.
මේ හේතුවෙන් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව පෙන්වා දෙන පෙත්සම්කරු, ආරක්ෂාව අඩුකිරිම හේතුවෙන් සිය ආරක්ෂාවට බරපතල තර්ජනයක් මතු වී ඇති බවට චෝදනා කරයි.
පෙත්සමින් ඉල්ලා ඇත්තේ, තමාට කලින් ලබා දුන් ආරක්ෂාව එලෙස ම ලබාදෙන ලෙස නියෝගයක් පොලිස්පතිවරයාට පනවන ලෙස හා සිය මූලික අයිතිවාසිකම් කඩවීම වෙනුවෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවන මෙන් නියෝගයක් පනවන ලෙසය. |
| යසුෂි අකාශි ඉරිදා පැමිණෙයි |
ජන. 11 - ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැගීම, පුනරුත්ථාපනය සහ නැවත ඉදිකිරීම් පිළිබඳ ජපාන රජයේ විශේෂ නියෝජිත, යසුෂි අකාශි මහතා සති අන්තයේ යළිත් ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණීමට නියමිතය.
කොළඹ ජපාන තානාපති කාර්යාලය පවසන්නේ, ඉරිදා දිවයිනට පැමිණෙන අකාශි මහතා අඟහරුවාදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇති බවය.
සාම ක්‍රියාදාමයේ වර්තමාන තත්ත්වය සහ එහි අනාගතය පිළිබඳව මෙම සංචාරය තුළ අකාශි මහතා රජය සමග සාකච්ඡා කිරිමට අපේක්ෂිතය.
අකාශි මහතා ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැගීම, පුනරුත්ථාපනය සහ නැවත ඉදිකිරීම් පිළිබද ජපාන රජයේ නියෝජිතයා ලෙස පත්කිරීමෙන් පසුව ඔහු මෙරට සිදුකරන 15 වන සංචාරය වේ. |
| කොටුව දුම්රිය ස්ථානයේ පිපිරීමක් |
ජන. 11 - අද පස්වරු 7.40 ට පමණ කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුළ කිසියම් පිපිරීමක් සිදුව තිබේ.
සිද්ධියෙන් තුවාල ලැබූ එක් පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ, පිපිරීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණ වී නොමැති බවය. |
| කොටුව දුම්රිය ස්ථානයේ පිපිරීමෙන් එක් අයෙකුට තුවාල |
ජන. 11 - කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ අද පස්වරුවේ සිදුවූ පිපුරුමෙන් එක් පුද්ගලයෙක් තුවාල ලැබීය.
පස්වරු 7.40 ට පමණ දුම්රිය වේදිකාවක් තුළ පිපිරීම සිදුවිය.
පිපිරුමෙන් අවට පිහිටි මගී පාලමකට ද තරමක හානි සිදුව තිබේ.
ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ මහතා පැවසුවේ, සිද්ධියෙන් තුවාල ලබා එක් අයෙකු රෝහල් ගත කළ බවය.
මේ අතර, සිද්ධියෙන් අනතුරුව පිටකොටුව දුම්රිය ස්ථානයේ ධාවනය කෙරෙන දුම්රිය සියල්ල සාමාන්‍ය පරිදි ධාවනය කරවීමට කටයුතු යොදා ඇත.
දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ, සියලු දුම්රිය නියමිත කාලසටහනට අනුව ධාවනය වන බවය.
 
 
|
| දුම්රිය ස්ථානවල ආරක්ෂාව වැඩිකිරීමට පියවර |
ජන. 11 - දුම්රිය ස්ථානවල ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිදුවූ පිපිරීමත් සමග දුම්රිය ස්ථානවල ආරක්ෂාව දැඩි කිරීමට තීරණය කළ බවය.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ අද පස්වරුවේ සිදුවූ පිපිරීමෙන් එක් පුද්ගලයෙක් තුවාල ලැබීය.
පස්වරු 7.40 ට පමණ දුම්රිය වේදිකාවක් තුළ පිපිරුම සිදුවිය.
පිපිරුමෙන් අවට පිහිටි මගී පාලමකට ද තරමක හානි සිදුව ඇත. |
| |