Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
   
දිනය 13/01/2008
යසුෂි අකාෂි දිවයිනට පැමිණෙයි

ජන. 13 - ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැගීම, පුනරුත්ථාපනය සහ නැවත ඉදිකිරීම් පිළිබද ජපාන රජයේ විශේෂ නියෝජිත, යසුෂි අකාශි මහතා අද උදෑසන දිවයිනට පැමිණියේය.

ලබන අඟහරුවාදා දක්වා අකාශි මහතා මෙරට රැඳී සිටිනු ඇතැයි කොළඹ ජපාන තානාපති කාර්යාලය සඳහන් කළේය.

සාම ක්‍රියාදාමයේ වර්තමාන තත්ත්වය සහ එහි අනාගතය පිළිබඳව මෙම සංචාරය තුළ අකාශි මහතා රජය සමග සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වෙයි.

ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැගීම, පුනරුත්ථාපනය සහ නැවත ඉදිකිරීම් පිළිබද ජපාන රජයේ නියෝජිතයා ලෙස පත්කිරීමෙන් පසුව අකාශි මහතා මෙරට සිදුකරන 15 වන සංචාරය මෙයය.

ජා ඇළ බෝම්බයට හසුවූ තවත් පුද්ගලයෙක් මරුට

ජන. 13 - ජාතිය ගොඩනැගීමේ අමාත්‍ය ද.මු.දසනායක මහතා ඇතුළු දෙදෙනකුට මරු කැඳවමින් ජාඇළ රුක්මනී දේවි පිළිරුව ආසන්නයේ සිදු වූ බෝම්බ පිපිරීමෙන් තුවාල ලබා සිටි තවත් අයෙකු මියගොස් තිබේ.

මෙලෙස මරණයට පත්වූයේ, බෝම්බ පිපිරීමෙන් තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරුකර යවන ලද පුද්ගලයෙකි.

මොහු අද අලුයම මරණයට පත්වූ බව ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඩබ්ලිව්.එස්.චන්දන ප්‍රනාන්දු නමැති මියගිය පුද්ගලයා 40 හැවිරිදි අයෙකි.

වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ, බෝම්බ පිපිරීමෙන් ඔහුගේ හිස ප්‍රදේශයට තුවාල සිදුව තිබූ බවය.

පසුගිය 8 වැනිදා පෙරවරුවේ ජාඇළ සිදුවූ බෝම්බ පිපිරුමෙන් අමාත්‍ය ද.මු.දසනායක මහතා සහ ඔහුගේ ආරක්ෂක නිළධාරියෙකු ජීවිතක්ෂයට පත්විය.

ගතවූ පැය 24 තුළ රිය අනතුරුවලින් 6 දෙනෙක් ජීවිතක්ෂයට

ජන. 13 - ගතවූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කුඩා දරියක ඇතූළු පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබේ.

බොගවන්තලාව ප්‍රදේශයේදී වෑන් රථයක ගැටීමෙන් 3 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වූ අතර බොගවන්තලාව පොලිසිය සඳහන් කළේ, අනතුරින් තුවාල ලබා රෝහල වෙත රැගෙන යමින් සිටියදී ඇය මරණයට පත්වූ බවය.

මේ අතර, වැලිපැන්න ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ ලොරියක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයා ජීවිතක්ෂයට පත්වූ අතර ඔහු වැලිපැන්න ප්‍රදේශයේ ම පදිංචිකරුවෙකි.

මේ අතර, කලුවාමෝදර ප්‍රදේශයේදී ජීප් රථයක ගැටීමෙන් 25 හැවිරිදි තරුණයෙකු මිය ගොස් ඇත.

අලුත්ගම පොලිසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් ජීප් රථයේ රියදුරා අත් අඩංගුවට ගත් බවය.

රත්මලාන කඳවල මාර්ගයේදී ද වෑන් රථයක ගැටීමෙන් වයස අවුරුදු 80 ක පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වූ අතර මොරටුව ප්‍රදේශයේදී යතුරු පැදියක ගැටීමෙන් තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ අතර, ගොඩකවෙල පල්ලෙබැද්ද ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනකු තුවාල ලැබුවා.

සියලු දිස්ත්‍රික් කාර්යාල හෙට සිට වසා දමනවා
- සටන් විරාම නිරීක්ෂණ කමිටුව

ජන. 13 - සියලු දිස්ත්‍රික් නිරීක්ෂණ කාර්යාල හෙට සිට වසා දමන බව ශ්‍රී ලංකා සටන් විරාම නිරීක්ෂණ කමිටුවේ ප්‍රකාශිකා පියා හැන්සන් මහත්මිය පවසයි.

ඇය ප්‍රකාශ කළේ, යාපනය දිස්ත්‍රික් කාර්යාලය හැරෙන්නට සෙසු කාර්යාල දැනටමත් වසා දමා ඇති බවය.

යාපනය දිස්ත්‍රික් කාර්යාලය ද හෙට දිනය තුළ වසා දමන බව ඇය පැවසීය.

සටන් විරාම නිරීක්ෂණ කමිටුව එම කටයුතුවලින් ඉවත් වන්නේ, රජය සටන් විරාම ගිවිසුමෙන් ඉවත්වීමට ගත් තීරණයට සමගාමීවය.

ඒ අනුව, වවුනියාව, මඩකලපුව, ත්‍රීකුණාමලය, අම්පාර, ඇතුළු දිස්ත්‍රික්කවල පවත්වා ගෙන යන ලද නිරීක්ෂණ කමිටු කාර්යාල පසුගිය දින කිහිපය තුළදී වසා දැමිණ.

පියා හැන්සන් මහත්මිය ප්‍රකාශ කළේ, ලබන 16 වනදා පස්වරු 7 න් පසුව තම සියලු නිරීක්ෂණ කටයුතු නවතා දමන බවය.

සංවිධානාත්මක නොවීම නිසා ත්‍රස්ත ක්‍රියාවලට ඉඩ ලැබුණා
- පොලිස්පති

ජන. 13 - සංවිධානාත්මක වැඩපිළිවෙළක් නොතිබීම හේතුවෙන් ත්‍රස්තවාදී ක්‍රියාවලට ඉඩ කඩ හිමිවූ බව පොලිස්පති වික්ටර් පෙරේරා මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ, ප්‍රජා පොලිස් ඒකකයේ කොළඹ කොට්ඨාසයේ ප්‍රථම රැස්වීමට සහභාගී වෙමිනි.

“ත්‍රස්තවාදීන් පසුගිය කාල සීමාව තුළ වරින්වර කොළඹ නගරයේ බෝම්බ පිපිරීම් කරල අපේ සිවිල් සාමාන්‍ය පුරවැසියන් රාශියකගේ ජිවිත නැතිකළා. තවත් සමහරු සදාකාලිකව වැඩ කළ නොහැකි අසරණ තත්ත්වෙට පත්කළා + අපි ඒ ඒ අවස්ථාවලදි ඒ සම්බන්ධයෙන් කටයුතු කරද්දි ජනතාව සහයෝගය දුන්නත් අපේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් නොතිබුණු නිසා ත්‍රස්තවාදීන්ට හැකියාව ලැබුණා. ඉතා අමාරුවෙන් වුවත් තවමත් ඒ කටයුත්ත කඩින් කඩ කරගෙන යන්න තමුන්නාන්සෙලාගේ ජනතාවගේ සහය අපිට හරිහැටි ලබාගන්න සිද්ධ වුණොත් මෙය ඉතා පහසුවෙන් වළක්වන්න පුළුවන් බව මගේ විශ්වාසයයි

සාකච්ඡා සඳහා එල්.ටී.ටී.ඊ.ය ආයුධ භාර දිය යුතුයි
- ජනාධිපති

ජන. 13 - සාකච්ඡා සඳහා ඇති සැබෑ කැපවීම පිළිබිඹු කරන්නේ නම්, එල්.ටී.ටී.ඊ. සංවිධානය ස්වාධීන පාර්ශ්වයකට අවි ආයුධ භාරදිය යුතු බව, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ, ඉන්දියාවේ එන්.ඩී. ටී.වී. රූපවාහිනියේ වෝක් ද ටෝක් වැඩසටහනට එක්වෙමිනි.

එම වැඩසටහනේ සිංහල පරිවර්තනය පහත දැක්වේ.

එන්.ඩී. ටී.වී.(ප්‍රශ්නය)

“ඔබට ඔබව හඳුන්වා දෙන්න පුළුවන් උකුස්සෙකු හෝ පරවියෙකු ලෙස. නමුත් යථාර්ථය නම් අඛණ්ඩව සිදුවන හමුදාමය ක්‍රියාමාර්ග තුළ පසුගිය සමයේ ඔබව පරවියෙකු ලෙස පෙනෙන්නට නැහැ. කොහොම වුණත් ඒ තුළ යම් සාර්ථකත්වයන් අත්වෙලා තියෙනවා. මොකද එල්ටීටීඊ ය යම් තරමකට හුදෙකලා වී තිබෙනවා.” 

ජනාධිපති(පිළිතුර)

“ඔව්. මම අතීත අත්දැකීම් තුළින් පාඩම් ඉගෙන ගෙන තිබෙනවා. මොකද සටන් විරාම ගිවිසුමක් තිබුණා. එම කාලවකවානුව ඔවුන් සිය ශක්තිය වර්ධනය කර ගන්නට අවස්ථාවක් කර ගත්තා. ඔවුන් ඔවුන්ගේ යුද ශක්තිය වැඩි දියුණු කර ගත්තා. ඒ වගේ ම පිරිස් බලය වැඩි කර ගත්තා. ඊට පස්සේ සටන් ආරම්භ කළා. ඔවුන් ඔවුන්ගේ සැබෑ උවමනාව පිළිබිඹු කළේ නැහැ.”

එන්.ඩී. ටී.වී.(ප්‍රශ්නය)

“ඔවුන් සටන් විරාම ගිවිසුම් කාල සීමාව අනිසි ලෙස ප්‍රයෝජනයට ගත්තා. එය ද ඔබ පවසන්‌ෙන?”

ජනාධිපති(පිළිතුර)

“ඔව්”

එන්.ඩී. ටී.වී.(ප්‍රශ්නය)

“ඔබ යළිත් එවැනි තත්ත්වයක් ඇති නොවීමට ද කටයුතු කරන්‌ෙන?”

ජනාධිපති(පිළිතුර)

“මං බලාපොරොත්තු වෙනවා. මං හිතන්නෑ එහෙම වෙයි කියල. මොකද මීට පෙර මොකක්ද වුණේ කියල දැන දැන ඇයි මම එය ම යළිත් කරන්නෙ? ඔවුන්ට සැබෑ උවමනාවක් තිබෙනවා නම් ඇත්තට ම ඔවුන්ට පුළුවන් අවි ආයුධ ස්වාධීන පාර්ශ්වයකට නැත්නම් ස්වාධීන කණ්ඩායමකට එහෙමත් නැත්නම් රටකට භාර දෙන්න”

එන්.ඩී. ටී.වී.(ප්‍රශ්නය)

“ මැදිහත්කරුවෙකුට ද?”

ජනාධිපති(පිළිතුර)

“මැදිහත්කරුවෙකුට”

එන්.ඩී. ටී.වී.(ප්‍රශ්නය)

“නෝර්වේ වගේ?”

ජනාධිපති(පිළිතුර)

“ඇයි ඉන්දියාව?”

එන්.ඩී. ටී.වී.(ප්‍රශ්නය)

“ඔබ වගකීමෙන් ද ප්‍රකාශ කරන්නේ?”

ජනාධිපති(පිළිතුර)

“ඔව්”

එන්.ඩී. ටී.වී.(ප්‍රශ්නය)

“ඔබ හිතන්නේ ඉන්දියාව නෝර්වේට වඩා ස්වාධීනව මැදිහත්කරුවගේ කාර්යය කරයි කියල ද?”

ජනාධිපති(පිළිතුර)

“නෑ මං හිතනවා. මම විශ්වාස කරනවා අසල් වැසියන්. ඉතිං ඔවුන් ඊට සූදානම් නම්, ඔවුන්ට එය අවශ්‍ය නම් ඔවුන් එය කරාවි. මට එහි ප්‍රශ්නයක් නැහැ. කොහොම වුණත් එය සාර්ක් කලාපීය රටක් වනවාට මම වඩාත් කැමතියි”

යසුෂි අකාශි හෙට ජනපති හමුවෙයි

ජන. 13 - දිවයිනට පැමිණ සිටින ජපාන රජයේ විශේෂ නියෝජිත, යසුෂි අකාශි මහතා හෙට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතය.

ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ, හෙට පස්වරුවේ අකාෂි මහතා ජනාධිපතිතුමා හමුවීමට නියමිත බවය.

යසුෂි අකාෂි මහතා දිවයිනට පැමිණියේ, අද පෙරවරුවේය.

කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය සඳහන් කළේ ලබන අගහරුවාදා දක්වා ඔහු මෙරට රැඳී සිටිනු ඇති බවය.

සාම ක්‍රියාදාමයේ වර්තමාන තත්ත්වය සහ එහි අනාගතය පිළිබඳව මෙම සංචාරය තුළ අකාශි මහතා රජයේ මෙන්ම පක්ෂ විපක්ෂ නියෝජිතයින් සමග සාකච්ඡා කිරිමට අපේක්ෂා කරයි.

නැගෙනහිර ප්‍රචණ්ඩත්වය වැඩිවී ඇතැයි රවුෆ් හකීම්ගෙන් චෝදනා

ජන. 13 - නැගෙනහිර පළාතේ පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව ජනමාධ්‍ය දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීය.

“මැතිවරණයක් කැඳවල තියෙන මේ අවස්ථාවෙදි ප්‍රචණ්ඩත්වය දැනට ම වැඩිවෙමින් පවතිනවා. පළාතේ ද්‍රවිඩ නායකයින් කිහිප දෙනෙකුට බලපැම් එල්ල වෙලා තියෙනවා, එක කණ්ඩායමකින්. තමන්ගේ කණ්ඩායමෙන් ඉදිරිපත් වුණොත් පමණයි, මැතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන් වෙන්නෙ. වහා ම තමාගේ නාම යෝජනාවේ අත්සන් තැබිය යුතුයි කියල බලපෑම් කරමින්, අත්සන් කරන්න තමාගේ අප්‍රසාදය පෙන්වූ වහාම ඒගොල්ලන්ට වෙඩි තියල ආරක්ෂක හමුදාවේ කඳවුරු ඉදිරිපිට ම ඉතා ම විවෘතව මේ කණ්ඩායම්වල සන්නද්ධ පිරිස් ගැවසෙන බව ඉතා ම පැහැදිලිව අපිට තොරතුරු ලැබිල තියෙනවා. මේක බරපතල තත්ත්වයක්. මේක මැඩපැවැත්වීමට රජය ඉදිරිපත් නොවන බව අපිට පෙනී යනවා”

රවුෆ් හකීම් මහතා මෙහිදි පැවසුවේ, මෙම තත්ත්වය කෙරෙහි මැතිවරණ කොමසාරිස්වරයා අවධානය යොමු කළ යුතු බවයි.

ඉන්ධන මිල ගණන් යළිත් ඉහළට

ජන. 13 - අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර ඇතැයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එම සංස්ථාව නිකුත් කළ නිවේදකයක දැක්වෙන්නේ, නව මිල ගණන් අනුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ දමා ඇති බවය.

ඒ අනුව, ඔක්ටේන් 90 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 127 දක්වා ඉහළ යනු ඇත.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක සංශෝධිත මිල රුපියල් 130 කි.

මීට අමතරව, ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දමා ඇත. ඒ අනුව, රුපියල් 75 ක්ව පැවති ඩීසල් ලීටරය නව මිල අනුව අලෙවි කෙරෙන්නේ, රුපියල් 80 කටය.

භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 2 කින් ඉහළ දමා තිබේ.

 
අයවැයට විරුද්ධ වීමට එජාපය තීරණය කරයි
බස් ගාස්තු අඩු කිරීමට රජයේ අවධානය
අයවැය හිඟය රුපියල් බිලියන 336.67
අක්කරායන්කුලම් සම්පූර්ණයෙන්ම හමුදාව අතේ
අනුරාධපුර බෝම්බ ප්‍රහාරය සම්බන්ධ පෙත්සමක්
ශ්‍රී ලංකාවේ 62 වන අයවැය
එල්.ටී.ටී.ඊ. ඉලක්කයකට ගුවන් ප්‍රහාර
අද සිට ඉන්ධන මිල අඩු කෙරේ
රාජ්‍ය සේවක ජීවන වියදම් දීමනාව වැඩිකිරීමට යෝජනා
ඉන්ධන මිල අඩු කිරීමට යෝජනා කෙරේ
වැට් බද්ද 12%ට අඩු කිරීමට යෝජනා
'මිහින් ලංකා' වෙනුවෙන් රු. මිලියන 6000ක්
 
 
 
 
 
 
Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
Privacy Statment