Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
   
 
 
දිනය 14/01/200
අකාශි අද ජනපති හමුවෙයි

ජන. 14 - දිවයිනට පැමිණ සිටින ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාෂි මහතා අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතය. ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ, අද පස්වරුවේ මෙම හමුව සිදුවන බවය.

ජපාන රජයේ විශේෂ නියෝජිත යසුෂි අකාශි මහතා ඊයේ පෙරවරුවේ මෙරටට පැමිණියේය.

කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය සඳහන් කළේ ලබන අගහරුවාදා දක්වා ඔහු මෙරට රැඳී සිටිනු ඇති බවය.

සාම ක්‍රියාදාමයේ වර්තමාන තත්ත්වය සහ එහි අනාගතය පිළිබඳව මෙම සංචාරය තුළ අකාශි මහතා රජයේ මෙන්ම පක්ෂ විපක්ෂ නියෝජිතයින් සමග සාකච්ඡා කිරිමට අපේක්ෂා කරයි.

වව්නියාවේ ක්ලේමෝ ප්‍රහාරයකින් තිදෙනෙක් මරුට
තවත් ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු 4කට තුවාල

ජන. 14 - පෙරවරු: 10.53 - වවුනියාව, මඩුකන්ද, කුඩාකච්චිකුඩි ප්‍රදේශයේදී අද උදෑසන ක්ලේමෝ බෝම්බ පිපිරිමකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවසුවේ, උදෑසන 9.50 ට පමණ අදාළ ක්ලේමෝ බෝම්බය පුපුරා ගොස් ඇති බවය.

වෑන් රථයක් ඉලක්ක කරගෙන මෙම ක්ලේමෝ බෝම්බය පුපුරුවා හැර ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසීය.

පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්වූවන් අතර ආරක්ෂක අංශ සාමාජිකයින් දෙදෙනක් වෙති.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙක් හා ප්‍රහාරයට ඉලක්ක වූ වෑන් රථයේ රියදුරුවරයාය.

ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ, සිද්ධියෙන් තවත් යුද හමුදා භටයින් තිදෙනකු සහ සිවිල් වැසියෙකු තුවාල ලබා ඇති බවය.

මුලතිව්හි එල්.ටී.ටී.ඊ. ඉලක්කයක් වෙත ගුවන් ප්‍රහාර

ජන. 14 - පස්වරු: 12.30 - මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයට උතුරින් පිහිටි කෝම්බාවිල්කුලම් ප්‍රදේශයේ හඳුනාගත් එල්.ටී.ටි.ඊ. ඉලක්කයක් වෙත ගුවන් හමුදාව අද උදෑසන ප්‍රහාරයක් එල්ල කළේය.

ගුවන් හමුදා ප්‍රකාශක, වින්ග් කමාන්ඩර් ඇන්ඩි විජේසූරිය මහතා පැවසුවේ, උදෑසන 10.45 ට පමණ ගුවන් හමුදා ජෙට් යානා යොදා ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කළ බවය.

එල්.ටී.ටි.ඊ. බුද්ධි තොරතුරු මධ්‍යස්ථානයක් සහ යුදමය කටයුතු මෙහෙයවන ස්ථානයක් ප්‍රහාරයේ ඉලක්කය වූ බව, ගුවන් හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේය.

බස් ගාස්තු ඉහළ දැමිය යුතුයි
- ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය

ජන. 14 - ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු ද වැඩිවීමේ අවශ්‍යතාවක් ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, මේ සම්බන්ධයෙන් අද දිනයේ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සාමාජිකයින් සමග සාකච්ඡා කරන බවය.

2007 ජුලි මාසයේදි බස් ගාස්තු පිළිබඳ අවසන් සංශෝධනය සිදුවීමෙන් පසු අවස්ථා දෙකකදී ඉන්ධන මිල ගණන් ඉහළ ගොස් ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

ඊයේ දිනයේ ඉන්ධන මිළ යළි ඉහළ යාමත් සමග බස් ගාස්තු සංශෝධනයක් සිදු කළ යුතු බව ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දැමිණ.

ඒ අනුව ලංකා ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 80 කි.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 85 යි ශත 30 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, හෙට පැවැත්වීමට නියමිත බස් හිමියන්ගේ සංගමයේ දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ සාකච්ඡාවකින් අනතුරුව නව සංශෝධන ඉදිරිපත් කරන බවය.

මේ සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ, රජය බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියකට අනුව කටයුතු කරන බවය.

හෝමාගමදී රු. ලක්ෂ විස්සක කොල්ලයක්

ජන. 14 - හෝමාගම ප්‍රදේශයේ බැංකු ශාඛාවකට මුදල් තැන්පත් කිරීමට පැමිණි පුද්ගලයෙකු සතුව තිබූ රුපියල් විසි ලක්ෂයක මුදලක් කොල්ලකරුවන් දෙදෙනෙකු විසින් පැහැර ගනු ලැබ ඇත.

අද දහවල් 1. 30 ට පමණ මුදල් තැන්පත් කිරීම සදහා මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු බැංකු ශාඛාව වෙත යාමට රථයෙන් බසිද්දී යතුරු පැදියකින් පැමිණ ඇති කොල්ලකරුවන් දෙදෙනෙකු ගිනි අවි පෙන්වා මෙම මුදල් පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය පැවසීය.

කොල්ලකරුවන් සෙවීම සදහා හෝමාගම පොලිසිය විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා පරික්ෂණ ආරම්භ කර ඇත.

රවුෆ් හකීම්ගේ ආරක්ෂාව වැඩි කිරීමට ආරක්ෂක ලේකම් එකඟ වෙයි

ජන. 14 - ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතාට දැනට ලබාදී ඇති ආරක්ෂාවට අමතරව තවත් ආරක්ෂක නිලධාරින් තිදෙනෙකු හා වාහන 2 ක් ලබාදීමට ආරක්ෂක ලේකම්වරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට එකඟත්වය පළ කළේය.

ඒ සිය ආරක්ෂාව අඩු කිරිමෙන් මූලික අයිතිවාසිකම් කඩවූ බව පවසමින් රුපියල් මිලියන සියයක වන්දියක් ලබාදෙන ලෙස ඉල්ලා, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද සලකා බැලු අවස්ථාවේදීය.

මෙම පෙත්සමින් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ, පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ නීතිපතිවරයාය.

මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේ, රවුෆ් හකීම් මහතාට ලබා දෙන එම ආරක්ෂක භටයින් සංඛ්‍යාව 10 දක්වා වැඩිකරන්නේ නම් ඉතා යෝග්‍ය බවය.

තමා අමාත්‍යවරයෙකු වශයෙන් සිටියදී විශේෂ කාර්ය බලකායේ නිලධාරින් 6 දෙනෙකු සමග ආරක්ෂක රථයක් ද, අමාත්‍ය ආරක්ෂක ඒකකයේ නිලධාරීන් 11 ක් සමග ආරක්ෂක රථයක් ද, පොලිස් නිලධාරීන්
6 දෙනෙකු ද ආරක්ෂාවට යොදවා සිටි බව පෙත්සමින් දක්වා ඇත.

දෙසැම්බර් මස 12 වන දින පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගෙන අමාත්‍ය ධුරයෙන් ඉවත් වීම හේතුවෙන් තම ආරක්ෂාව නිලධාරීන් 5 දෙනෙකු දක්වා අඩු කර ඇති බව, පෙත්සමින් චෝදනා කර තිබේ.

පෙත්සමින් දක්වා ඇත්තේ, කල්මුනේ, සමන්තුරේ සහ පොතුවිල් යන ප්‍රදේශවල පිහිටි තම පක්ෂ කාර්යාලවලට අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරීන් ද ඉවත් කර ඇති බවය.

මේ හේතුවෙන්, සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව පෙන්වා දෙන පෙත්සම්කරු, ආරක්ෂාව අඩුකිරීමෙන් සිය ආරක්ෂාවට බරපතල තර්ජනයක් මතු වී ඇති බවට චෝදනා කරයි.

ඔහු ඉල්ලා ඇත්තේ, තමාට කලින් ලබා දුන් ආරක්ෂාව එලෙස ම ලබාදෙන ලෙස නියෝගයක් පොලිස්පතිවරයාට පනවන ලෙස හා සිය මූලික අයිතිවාසිකම් කඩවීම වෙනුවෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවන මෙන් නියෝගයක් පනවන ලෙසය.

මඩකලපුවේ ප්‍රදේශ කිහිපයක හර්තාල්

ජන. 14 - මඩකලපුව දිස්ත්‍රික්ක‌යේ ප්‍රදේශ කිහිපයක අද හර්තාලයක් ක්‍රියාත්මක විය.

ඒ කාත්තන්කුඩ් ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකින් ඉමාම්වරයකු ඇතුළු තිදෙනෙකු තුවාල ලැබීමේ සිද්ධියට විරෝධය පළ කිරිම සඳහාය.

මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩි, ඔට්ටමාවඩි හා එරාවුර් යන ප්‍රදේශවල මෙම හර්තාලය ක්‍රියාත්මක විය.

මේ හේතුවෙන්, එම ප්‍රදේශවල වළෙඳසල් වසා තිබූ අතර පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වූයේ නැත.

හර්තාලය හේතුවෙන් රාජ්‍ය ආයතන කටයුතුවලටද බාධා එල්ල විය.

හර්තාලය පැවති කාලය තුළ අදාළ ප්‍රදේශවල ආරක්ෂාව තර කළ බව පොලිසිය පැවසීය.

ශ්‍රී ලංකාවේ ගැටුම් නිරාකරණය සඳහාවූ ව්‍යාපෘතිවලට ලෝක බැංකු ආධාර

ජන. 14 - ස්ථිරසාර සාමයෙන් යුතු පරිසරයක් සඳහා සියලු ජන කොටස් යොමු කිරීම වෙනුවෙන් කැප වී සිටින සිවිල් සංවිධාන මගින් සිදු කරන ව්‍යාපෘති සදහා ආධාර ලබා දීමට ලෝක බැංකුව අයදුම්පත් කැදවා ඇත.

සිවිල් සමාජ අරමුදල හෙවත් සුළු ආධාර වැඩසටහන ඔස්සේ මෙම ආධාර ලබා දීමට නියමිතය.

ලෝක බැංකුවේ සිවිල් සමාජ අරමුදල හෙවත් සුළු ආධාර වැඩසටහනේ 2008 වසරේ තේමා වී ඇත්තේ, ‘සංවර්ධනය සඳහා ගැටුම් නිරාකරණය’ යන්නය.

ප්‍රායෝගික ලෙස ගැටුම් නිරාකරණය අරමුණු කර ගත්, ස්ථිරසාර සාමය ගෙන ඒම සඳහා අවශ්‍ය සහජීවනය වඩවන වැඩපිළිවෙළවල් වෙනුවෙන් මෙම අරමුදල් ලබා දීමට නියමිතය.

මේ අනුව, මෙම වසරේදී ව්‍යාපෘති 7 ක් සඳහා එක් ව්‍යාපෘතියකට අමෙරිකානු ඩොලර් 5000 දක්වා වූ (ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 5 ක්)ආධාර ලබා දීමට ලෝක බැංකුව සිවිල් සංවිධානවලින් අයදුම්පත් කැඳවා තිබේ.

මූලික අයිතිවාසිකම් කඩවුණැයි මන්ත්‍රී බසීර් සේගුදාවුද්ගෙන් පෙත්සමක්

ජන. 14 - සිය ආරක්ෂාව අඩු කිරිමෙන් මූලික අයිතිවාසිකම් කඩවූ බව පවසමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බසීර් සේගුදාවුද් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ඉදිරිපත් කළේය.

නීතිඥ ජී.ජී. අරුල් ප්‍රගාසම් මහතා මගින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සමින් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ, පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ නීතිපතිවරයාය.

පෙත්සමින් දක්වා ඇත්තේ, තමාට මීට පෙර ලබා දුන් පූර්ණ ආරක්ෂාව අඩු කර ඇති බවය.

දෙසැම්බර් මස 12 වන දින පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීම හේතුවෙන් තම ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව සාධාරණ හේතුවකින් තොරව අඩු කර ඇති බව, පෙත්සමින් චෝදනා කර තිබේ.

නැගෙනහිර ප්‍රදේශයේ දේශපාලන කටයුතුවල නිතර වන තමාගේ ආරක්ෂාවට බරපතල තර්ජනයක් එල්ල වී ඇති බව ‌පෙත්සමේ සඳහන් වේ.

ආරක්ෂාව අඩුකිරීම හේතුවෙන් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව පෙන්වා දෙන පෙත්සම්කරු ඉල්ලා ඇත්තේ, තමාට කලින් ලබා දුන් ආරක්ෂාව එලෙස ම ලබා දෙන ලෙසට පොලිස්පතිවරයාට නියෝගයක් පනවන ලෙසය.

ත්‍රිකුණාමලයේ වෛද්‍යවරයෙකුට නාඳුනන පිරිසකගෙන් ප්‍රහාරයක්

ජන. 14 - ආයුධ සන්නද්ධ කප්පම් කල්ලියක පහරකෑමට ලක්වු ත්‍රිකුණාමලය රෝහලේ වෛද්‍යවරයෙකු අද සවස කොළඹ ජාතික රෝහල වෙත යොමු කර තිබේ.

ත්‍රිකුණාමල රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ, මේ පිරිස අදාළ වෛද්‍යවරයාට එන්නතක් ද ශරිර ගත කර ඇති බවය.

ඒ අනුව, අදාළ එන්නත පිළිබඳව වැඩිදුර පරික්ෂණ සඳහා ඔහු ජාතික රෝහලට මාරුකර යවා ඇත.

ත්‍රිකුණාමලය මහ රෝහලේ සේවයේ නියුතු වෛද්‍ය උපේන්ද්‍ර විජයරත්න මහතාගෙන් කිසියම් පිරිසක් ඊයේ අලුයම දුරකතන මාර්ගයෙන් කප්පම් මුදලක් ඉල්ලා ඇත.

ඔහුට මෙම දුරකථන ඇමතුම ලැබී ඇත්තේ, රෝහලේ සේවය කරමින් සිටියදීය.

ඉන් පසුව ඊයේ රාත්‍රි වෛද්‍යවරයාගේ නිල නිවසට කඩා වැදී ඇති සන්නද්ධ පුද්ගලයින් තුන්දෙනෙකු මුදල් ඉල්ලා ඔහුට පහර දී පළා ගොස් තිබේ.

අදාළ සිද්ධිය පිළිබඳව වෛද්‍යවරයා ත්‍රිකුණාමලය වරාය පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

මේ අනුව, ත්‍රිකුණාමල රජයේ රෝහලේ වෛද්‍යවරුන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් දෙන ලෙස සෞඛ්‍ය බලධාරින්ගෙන් ඉල්ලා සිටීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ත්‍රිකුණාමල ශාඛාව අද තීරණය කළේය.

යසුෂි අකාෂි, ජනපති හමුවෙයි

ජන. 14 - සාමය ස්ථාපිත කිරිම සදහා ජපානයේ නිරන්තර සහයෝගය හිමිවන බව විශේෂ සාම නියෝජිත යසුෂි අකාශි මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවෙමිනි.

දිවයිනට පැමිණි ජපානයේ විශේෂ සාම නියෝජිත යසුෂි අකාශි මහතා ජනාධිපතිතුමා මුණ ගැසුණේ අරලියගහ මන්දිරයේදීය.

මෙහිදී පැවති සාකච්ඡාවේදී අකාශි මහතා උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු සදහා නිරන්තර සහාය ලබාදෙන බව ප්‍රකාශ කළේය.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මෙරට සංවර්ධන ක්‍රියාදාමය සදහා අඛණ්ඩ ආර්ථික සහයෝගයක් ලබාදෙන බවටද යසුෂි අකාශි මහතා එකග වු බවය.

මෙම සාකච්ඡාවට අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පාලිත කොහොන, ජනාධිපති ලේකම් ලලිත් විරතුංග සහ මෙරට ජපාන තානාපතිවරයාද එක්වූහ.

මේ අතර ජපානයේ විශේෂ සාම නියෝජිත යසුෂි අකාශි මහතා අද පස්වරුවේ අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා මුණගැසිණ.

අකාෂි මහතා මෙහිදී පෙන්වා දී තිබෙන්නේ විවිධ අදහස් සහ දේශපාලන පක්ෂ සහිත මෙරට අර්බුධ වලට විසදුම් සෙවීමේ දී පියවරෙන් පියවර ඉදිරිය

මහේස්වරන් ඝාතන සැකකරු හඳුනාගැනීමට තවත් පෙරට්ටුවකට අවසර

ජන. 14 - පාර්ලිමේන්තු මන්ත්‍රී. ටී. මහේෂ්වරන් මහතාගේ ඝාතනයට අදාළ සැකකරු හඳුනාගත හැකි සාක්ෂිකරුවන් සිටී නම් නැවතත් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට අද අවසර ලබාදුන්නේය.

මහේෂ්වරන් මන්ත්‍රීවරයාගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.එල්.එම්. අමීන් මහතා අධිකරණයේදී පැවසුවේ, මහේෂ්වරන් ඝාතන සිද්ධිය සියැසින් දුටු පුද්ගලයින් රැසක් සිටිය ද සත්‍ය සිද්ධිය අනාවරණය කිරීමට විවිධ පාර්ශව වෙතින් එල්ල වන තර්ජන හේතුවෙන් ඔවුන් බියට පත්ව සිටින බවය.

අද දිනයේ මහේස්ත්‍රාත් පරික්ෂණයේදී සාක්ෂිකරුවන් සිව්දෙනෙකු සාක්ෂි ලබා දුන් අතර එක් සාක්ෂිකරුවෙකු තමාට සැකකරු හඳුනා ගැනීමට හැකි බව ප්‍රකාශ කළේය.

ජනාධිපති නිතිඥ එම්.එල්.එම්. අමීන් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ, සියලු සාක්ෂිකරුවන් සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දීමට පොලිසිය ඉදිරිපත් වියයුතු බවය.

එල්.ටී.ටී.ඊ. සැකකරුවෙකු අමාත්‍ය ආරක්ෂක අංශයට සම්බන්ධ වූයේ කෙසේද යන්න පිළිබඳව විශාල සැකයක් මතුවන බව ද මෙහිදී ජනාධිපති නිතිඥ අමීන් මහතා පැවසීය.

මේ සියලු කරුණු සලකා බැලු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා සිද්ධිය දුටු සාක්ෂිකරුවන් සිටී නම් සැකකරු හඳුනා ගැනීම සඳහා යළිත් පෙරට්ටුවක් පැවැත්වීමට පොලිසියට අවසර ලබාදුන්නේය.

මඩකලපුව පුංචි ඡන්දය ගැන විශේෂ සාකච්ඡාවක්

ජන. 14 - නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 9 ක් සඳහා පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම පිළිබඳව අද මැතිවරණ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණ.

රාජගිරිය, මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වුණේ, අද පස්වරුවේය.

මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතාගේ මුලිකත්වයෙන් පැවති සාකච්ඡාවට දේශපාලන පක්ෂ නියෝජිතයෝ රැසක් සහභාගි වූහ.

ඊට අමතරව මෙම සාකච්ඡාවට පොලිස්පතිවරයා ද එක්ව සිටියේය.

එය අවසානයේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ දේශපාලන නියෝජිතයින් පැවසුවේ, මඩකලපුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමේදී එහි ආරක්ෂක කටයුතු පිළිබඳව වැඩි අවධානයක් යොමුකළ යුතුව ඇති බවය.

මන්නාරම, එල්.ටී.ටී.ඊ. ඉලක්කයක් වෙත ගුවන් ප්‍රහාර

ජන. 14 - මන්නාරම වෙඩිතලතිව්හි නැගෙනහිර පිහිටි හඳුනා ගත් එල්.ටී.ටී.ඊ. ඉලක්කයක් වෙත අද ගුවන් හමුදාව ප්‍රහාරයක් එල්ල කළේය.

ගුවන් හමුදා ප්‍රකාශක, වින්ග් කමාන්ඩර් ඇන්ඩි විජේසූරිය මහතා පැවසුවේ, අද දහවල් 1 ට පමණ ගුවන් හමුදාවට අයත් ජෙට්යානා උපයෝගි කරගනිමින් ප්‍රහාරය එල්ල කර ඇති බවය.

එල්.ටී.ටී.ඊ.යට අයත් කාලතුවක්කු ස්ථානගත කර ඇති ස්ථානයක් ප්‍රහාරයේ ඉලක්කය වූ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

 
කෝණේෂ්වරම් කෝවිලේ පූජකතුමා ඝාතනය කෙරේ
කොළඹදී වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල
හිටපු ජනපතිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා
එල්.ටී.ටී.ඊ. ඉලක්ක 4කට ගුවන් ප්‍රහාර
ලංකාතිලක ඇසල පෙරහැරේ නොසන්සුන්තාවකින් 100කට තුවාල
මී උණෙන් 150ක් මරුට
විදේශගත වෛද්‍යවරුන් යළි නොඒම ගැටලුවක් - සෞඛ්‍ය ඇමති
රාජ්‍ය චක්‍රලේඛන දෙමළ භාෂාවෙනුත්
උතුරු පළාත් මැතිවරණයට නාම යෝජනා කැඳවීම මාස 10 තුළ
අයවැය විසර්ජන පණත් කෙටුම්පත ඔක්තෝබර් 9 පාර්ලිමේන්තුවට
රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ ක්‍රමයේ වෙනසක්
උ.පෙ. විභාගයේ අසාර්ථක වූ ඇගයීමි අනිද්දා
 
 
 
 
 
 
 
 
Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
Privacy Statment