Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
   
දිනය 15/01/2008
බස් ගාස්තු ඉහළ දැමීමට පෞද්ගලික බස් හිමියන්ගේ තීරණයක්

ජන. 15 - ඉන්ධන මිල ඉහළ යාමට සමගාමීව සියයට 5 ත් 10 ත් අතර ප්‍රතිශතයකින් බස් ගාස්තු නැංවීමේ තීරණයකට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය එළඹ තිබේ.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ, සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලය ඊයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹි බවය.

මන්නාරම ප්‍රදේශයේදී ආරක්ෂක අංශ සහ එල්.ටී.ටී.ඊ. ය ගැටෙයි

ජන. 15 - මන්නාරම, පරප්පකණ්ඩාල් බටහිර ප්‍රදේශයේදී ආරක්ෂක අංශ සහ එල්.ටි.ටි.ඊ. ය අතර ඊයේ දිනය තුළ විටින් විට ගැටුම් හටගෙන තිබේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ, හමුදා ප්‍රහාරවලින් එල්.ටි.ටී.ඊ බංකර් 09 ක් විනාශ කළ බවය.

ගැටුම්වලින් එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 09 දෙනෙකු මියගොස් තවත් අට දෙනෙකු තුවාල ලබා ඇතැයි මාධ්‍ය මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.

එම මධ්‍යස්ථානය සඳහන් කළේ, දෙපාර්ශ්වය අතර හටගත් ගැටුම්වලින් හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 15 දෙනෙකු තුවාල ලැබූ බවය.

කාක දූපතෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ

ජන. 15 - මෝදර කාක දුපත ප්‍රදේශයේ , ලඳු කැළෑවක තිබී නාවික හමුදාව පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබේ.

නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් ඩී.කේ.පී. දසනායක මහතා පැවසුවේ, ඊයේ රාත්‍රී 8.30 ට පමණ මෝදර ප්‍රදේශයේ ප්‍රජා ශාලාවක් අසල වූ ලඳු කැළෑවක තිබී මෙම පුපුරණ ද්‍රව්‍ය සොයාගත් බවය.

සොයාගත් පුපුරණ ද්‍රව්‍ය පාර්සල් 5 ක දමා සඟවා තිබුණු අතර එම පාර්සල් 5 හි බර කිලෝග්‍රෑම් 8 යි ග්‍රෑම් 750 කි.

කමාන්ඩර් දසනායක මහතා ප්‍රකාශ කළේ, සී ෆෝ වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය, යකඩ බෝල හා අත්බෝම්බ දෙකක් ද අදාළ පාර්සල්වල තිබූ බවය.

සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකාව ගැන ජපානය විමසිල්ලෙන් සිටිනවා
                          - යසුෂි අකාශි

ජන. 15 - ශ්‍රී ලංකාවේ දේශපාලනමය, හමුදාමය සහ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව ජපානය විමසිල්ලෙන් සිටින බව ජපාන විශේෂ නියෝජිත යෂුෂි අකාශි මහතා පැවසීය.

දිවයිනට පැමිණ සිටින ජපාන විශේෂ නියෝජිත යෂුෂි අකාශි මහතා ඔහු මේ අදහස් පළ කළේ, අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

ඔහු පළ කළ අදහස්වල පරිවර්තනයක් පහත දැක්වේ.

“ඊයේ සවස මම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා. එහිදී මම ශ්‍රී ලංකාවේ පවතින අර්බුදය පිළිබඳව ජපාන රජය විශේෂ අවධානයක් දක්වන බව ප්‍රකාශ කළා. ඒ වගේ ම මේ සඳහා දේශපාලන විසඳුමක් අවශ්‍ය බව ත්, එහිදී බලය බෙදීම පදනම් වූ යෝජනාවලියක් කඩිනමින් කෙටුම්පත් කළ යුතු බවට ත් ජනාධිපතිවරයා හමුවේ මම කියා සිටියා. එයට ප්‍රතිචාර වශයෙන් පවතින අර්බුදය සඳහා දේශපාලන විසඳුමක් වෙනුවෙන් ඇති කැමැත්ත මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. එමෙන් ම ඒ සඳහා විසඳුම් යෝජනාවලියක් පිළිබඳ කෙටුම්පතක් හැකි ඉක්මනින් සම්පාදනය කරන බවත් ඔහු පැවසුවා. ඒ වගේම අපි තවදුරට ත් ශ්‍රී ලංකාවේ දේශපාලනමය , හමුදාමය හා මානව හිමිකම් තත්ත්වය පිළිබඳවත් විමසිල්ලෙන් සිටින බව මම මෙහිදී කියන්න කැමතියි”

කාක දූපත විශේෂ පරීක්ෂාවකට ලක් කෙරේ

ජන. 15 - මෝදර කාක දූපත හා අවට ප්‍රදේශය අද විශේෂ පරික්ෂාවකට ලක් කළ බව, නාවික හමුදාව පැවසීය.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඩී.කේ.පී. දසනායක මහතා සඳහන් කළේ, කාක දූපත ප්‍රදේශයේ ලඳු කැළෑවක තිබී ඊයේ පුපුරණ ද්‍රව්‍ය තොගයක්, සොයා ගැනීමෙන් පසු සෝදිසි කිරීම් ආරම්භ කළ බවය.

පාර්සල් 5 ක අසුරා ලඳු කැළෑවක සඟවා තිබූ කිලෝග්‍රෑම් 9 කට ආසන්න සී ෆෝ වර්ගයේ අධිබල පුපුරණ ද්‍රව්‍ය, යකඩ බෝල හා අත් බෝම්බ දෙකක් ද නාවික හමුදාව විසින් සොයා ගනු ලැබීය.

කමාන්ඩර් දසනායක මහතා සඳහන් කළේ, මේවා වෙනත් ස්ථානවලට යැවීමේ අරමුණින් මෙලෙස සඟවා තබන්නට ඇති බවට සැක කරන බවය.

ඒ අනුව තවදුරටත් පුපුරණ ද්‍රව්‍ය ප්‍රදේශයේ සඟවා තිබේදැයි සෙවීමට පරික්ෂණ ක්‍රියාත්මක කෙරෙන බව නාවික හමුදාව සඳහන් කළේය.

රජය, සටන් විරාම නිරීක්ෂණ කමිටුවෙන් අත්දැකීම් වාර්තාවක් ඉල්ලයි

ජන. 15 - සටන් විරාම ගිවිසුම නිල වශයෙන් හෙටින් අවසන් වේ.

ශ්‍රී ලංකා සටන් විරාම නිරික්ෂණ කමිටුවේ කටයුතු ද හෙට රාත්‍රී 7 න් අවසන් වන බව එම කමිටුව ප්‍රකාශ කළේය.

මේ අතර, රජයේ සාම ක්‍රියාවලිය සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ ප්‍රධානී මහාචාර්ය රජීව විජේසිංහ මහතා පැවසුවේ, සිය අත්දැකීම් පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස සටන් විරාම නිරික්ෂණ කමිටුවේ ප්‍රධානියාගෙන් තමන් ඉල්ලීමක් කර ඇති බවය.

සියලු පාර්ශව මානව හිමිකම්වලට ගරු කළ යුතුයි
- ලුවිස් ආබර්

ජන. 15 - සටන් විරාම ගිවිසුම අවසන්වීමත් සමග ජාත්‍යන්තර නීතියට අනුව රජය සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය මානව අයිතිවාසිකම්වලට ගරු කළ යුතු බව, එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ලුවිස් ආබර් මහත්මිය යළි සිහිපත් කරයි.

නිවේදනයක් නිකුත් කරන ඇය පෙන්වා දෙන්නේ, ගැටුම් වර්ධනය වීම තුළින්, ශ්‍රී ලංකාවේ වෙසෙන සියලු ජන කොටස්වල මානව අයිතිවාසිකම්වලට බලපෑම් එල්ලවිය හැකි බවය.

එමෙන් ම ජාත්‍යන්තර නීතියට අනුව ජාතිවාදීව නොසිතා ඕනෑ ම පාර්ශවයක්, සාමාන්‍ය වැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම ත්, ඔවුන්ව නීති විරෝධි අයුරින් රඳවා ගැනීම සිදු නොකළ යුතු බවට ත් ජාත්‍යන්තර නීතිය පැහැදිලි කර ඇති බව ඇය සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත.

ලුවිස් ආබර් මහත්මිය පවසන්නේ, අතුරුදන් කිරීම්, බලහත්කාරයෙන් අවතැන් කිරීම්, අමානුෂික වද හිංසන පැමිණවීම් ඇතුළු අනෙකුත් කෲරකම්වලින් සිවිල් වැසියන්, ආරක්ෂා කළ යුතු බවය.

මානව හිමිකම් කඩ කරන ඕනෑ ම පාර්ශවයක පුද්ගලයෙකුට තරාතිරම නොබලා ජාත්‍යන්තර අපරාධ නීතියට අනුව නීතිය හමුවට පැමිණවීමට හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ‌ කොමසාරිස්වරිය අවධාරණය කරයි.

 
අයවැයට විරුද්ධ වීමට එජාපය තීරණය කරයි
බස් ගාස්තු අඩු කිරීමට රජයේ අවධානය
අයවැය හිඟය රුපියල් බිලියන 336.67
අක්කරායන්කුලම් සම්පූර්ණයෙන්ම හමුදාව අතේ
අනුරාධපුර බෝම්බ ප්‍රහාරය සම්බන්ධ පෙත්සමක්
ශ්‍රී ලංකාවේ 62 වන අයවැය
එල්.ටී.ටී.ඊ. ඉලක්කයකට ගුවන් ප්‍රහාර
අද සිට ඉන්ධන මිල අඩු කෙරේ
රාජ්‍ය සේවක ජීවන වියදම් දීමනාව වැඩිකිරීමට යෝජනා
ඉන්ධන මිල අඩු කිරීමට යෝජනා කෙරේ
වැට් බද්ද 12%ට අඩු කිරීමට යෝජනා
'මිහින් ලංකා' වෙනුවෙන් රු. මිලියන 6000ක්
 
 
 
 
 
 
Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
Privacy Statment