Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
   
ප්‍රංශ ජනරජයේ ජාතික දිනය ජූලි මස 14 වැනි දිනට යෙදේ.

බැස්ටීල් දිනය ලෙස ද හැඳින්වෙන එම දිනය ලෝක ඉතිහාසයේ ඉතා වැදගත් මංසලකුණක් තැබූ දිනයකි.

එදින, වැඩවසම් රාජාණ්ඩු පාලන තන්ත්‍රය බිඳ දමමින් ජනතාවාදී දේශපාලන සම්ප්‍රදායක් ලොව පුරා ගොඩනැගීමට පදනම සැකසිණ.

එවැනි ඓතිහාසික වැදගත්කමක් දරන ප්‍රංශ නිදහස් දිනය අළලා www.ethalaya.com සැකසූ විශේෂ ලිපි පෙළක් පහත පළවේ.

 

 

1. ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයාගේ පණිවුඩය
2. බැස්ටීල් දිනයේ පසුබිම
3. ප්‍රංශය ගැන බිඳක්
4. යුරෝපා සංගමයේ සභාපති පුටුවට ආ ප්‍රංශය
5. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ප්‍රංශයේ අතහිත
6. පශ්චාත් සුනාමි සංවර්ධනයට ප්‍රංශයේ දායකත්වය
7. ප්‍රංශ භාෂාව ඉගෙනීමට ඇති අවස්ථා
 
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයාගේ පණිවිඩය

මා කොළඹට පැමිණීමෙන් පසු ප්‍රංශ ජාතික දිනය සමරන දෙවන අවස්ථාව මෙයයි. ජූලි 14 දිනට යෙදී ඇති ප්‍රංශ ජාතික දිනය, "බැස්ටීල් දිනය" ලෙස ද හඳුන්වනු ලැබේ. එකල පැවති ඒකාධිපතිවාදයේ සංකේතය වූ අප අගනුවර ප්‍රධාන සිරගෙයෙහි පාලනය මෙවැනි දිනයක 1789 දී, පැරීසියේ ජනතාව ලබාගැනීමත් සමග පූර්ණ රාජාණ්ඩු ක්‍රමයේ අවසානය සටහන් විය. ඉන් වසරක් ගිය තැන 1790 දී, අවුරුද්දක් පුරා පැවති ගැටුම් හා අරගලවලින් පසු සමාදානයට පත් ප්‍රංශ ජනතාවගේ සමගිය පෙන්වීමට "Fête de la Fédération" නම් වූ මහා උත්සවයක් සංවිධානය කරන්නට යෙදිණ.

එලෙසින් ම, ශ්‍රී ලංකාවේ විවිධ වූ ප්‍රජාවන්ට ඉතා ඉක්මණින්ම බෙදුම්වාදී අරගලයේ අවසානය උත්සවාකාරයෙන් සැමරීමට මෙන්ම සාමයෙන් හා සහජීවනයෙන් පිරි දිවියක් ඇරඹීමට අවස්ථාව උදාවනු දැකීම මගේ අපේක්‍ෂාවය.

පසුගිය වසර තුළ, ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර සම්බන්ධතා වර්ධනය දිගින් දිගටම සිදුවිය. ශ්‍රී ලංකා විදේශ ඇමතිවරයා 2007 වසරේ සැප්තැම්බර් මාසයේ දී පැරීසියේ යෙදුනු සංචාරය සමග දේශපාලනික වශයෙන් ඉහළපෙළේ හමුවීම් ද දෙරට අතර සිදුවිය. 2007 දී අපගේ රටවල් දෙක අතර වෙළෙඳ කටයුතු 2006 වසරට සාපේක්ෂව 20% කට වැඩි ප්‍රමාණයකින් වර්ධනය වී තිබේ. මෙම අවුරුද්දේ දැනට ලැබී ඇති දත්ත අනූව, එම සුබදායක ප්‍රවණතාව දිගටම දැකිය හැකි වේ. ආයෝජන අතින් බලන කළ, දිවයිනේ ආර්ථික දියුණුව සඳහා ඇති ප්‍රංශ සමාගම්වල ක්‍රියාකාරීත්වය තවදුරටත් වර්ධනය කිරීමට ප්‍රයත්න දරමින් සිටී.

අවධාරණය කළ යුතු තවත් කරුණක් වන්නේ, නැගෙනහිර පළාතේ සුනාමියෙන් පසු දියත් කළ ව්‍යාපෘති සඳහා ප්‍රංශයෙන් ලබාදුන්, ආසන්න වශයෙන් යුරෝ මිලියන 90ක් පමණ වූ මූල්‍ය ප්‍රතිපාදන දැන්, එම ප්‍රදේශයේ පුනරුත්ථාපන කටයුතු සඳහා යෙදවෙමින් පවතී.

තවද, ප්‍රංශයත්, නිදහසින් පසු ලංකාවත් අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ඇරඹීමේ 60 වැනි සංවත්සරය මෙම වසරට යෙදී තිබේ.

අප සබඳතාවන්ගේ මෙම වැදගත් මග සළකුණ උත්සවාකාරයෙන් සමරනු වස්, ශ්‍රී ලාංකික රංගන ශිල්පීන් ගණනාවකගේ ද සහභාගීත්වය ඇතිව The Pearl Fishers නම් වූ ඔපෙරාව, ප්‍රංශ තානාපති කාර්යාලය විසින් ජනවාරි මාසයේ දී ඉදිරිපත් කරන ලදී.

ශ්‍රී ලංකා බලධාරීන්ගේ සහයෝගය ඇතිව ප්‍රංශ භාෂාව ඉගැන්වීමේ කටයුතු දිරිගැන්වීම ඉදිරියටත් පවත්වාගෙනයන අතර, පුරාවිද්‍යාව හා කෞතුකාගාර කලමනාකරණය වැනි නව ක්ෂේත්‍රවල අප විශ්ව විද්‍යාල හා පර්යේෂණ මධ්‍යස්ථාන අතර සහයෝගීතාව ව්‍යාප්ත කිරීමට ද සැලසුම් කර තිබේ.

මෙම කෙටි වූ පණිවිඩය අවසානයේ ශ්‍රී ලාංකික ජනතාව වෙත සාමකාමී සහ සමෘධිමත් අනාගතයක් සඳහා මාගේ හෘදයාංගම සුභ පැතුම් පිරිනැමීමට කැමැත්තෙමි. අප දෙරට අතර මිත්‍රශීලී සබඳතා අතාගතයේ දී තවදුරටත් ශක්තිමත්වනු ඇතැයි අපේක්ෂා කරන අතර, මෙරට වාසය කරන හා සේවය කරන මාගේ ප්‍රංශ ජාතික සහෘදයන්ගේ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි ද ප්‍රාර්ථනා කරමි.


මිෂෙල් ලුමෝ
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති

බැස්ටීල් දිනයේ පසුබිම

ප්‍රංශයේ ජාතික දිනය හුදෙක් එරටට පමණක් නොව, දේශපාලනික වශයෙන් ලෝක ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සටහන් කළ අවස්ථාවකි.

බැස්ටීල් දිනය නම් වූ එය ලොව පුරා රාජාණ්ඩු පාලන තන්ත්‍රය දෙදරවීමට සමත්වූ දිනයක් විය.

ප්‍රංශ විප්ලවය අරඹමින් 1789 ජූලි 14 වැනිදා බැස්ටීල් බලකොටුව වෙත ජනතාව කඩා වැදුනු අවස්ථාව සිහි කරමින් සෑම වසරකම ජූලි 14 වැනිදා ප්‍රංශයේ ජාතික දිනය සැමරේ.

විප්ලවයට පූර්වයෙහි මාස ගණනක් පැරීසිය පුරා මතුව තිබුණේ දැඩි උද්ඝෝෂණ රැල්ලකි.

එවක පැවැති සමාජ දේහයේ වරප්‍රසාද ලත් පන්තිවලින් සමන්විතව කිරීටයට පක්‍ෂව පැවැති පාලක මණ්ඩලය විසුරුවා හරින්නැයි නැගුණු ඉල්ලීම් ප්‍රතික්‍ෂේප කරමින් 1789 වසන්ත සෘතුව වන විට එම මණ්ඩලය ආණ්ඩුක්‍රම සම්පාදක ජාතික සභාවක් බවට පරිවර්තනය කෙරිණ.

ඒ අතරම, ජනප්‍රසාදයට ලක්ව සිටි මුදල් අමාත්‍ය ජාක් නෙකර් එම ධුරයෙන් නෙරපා හැරීමට 16 වැනි ලුවී රජු ක්‍රියා කළේය.

එවැනි පසුබිමක් මත උත්සන්නවූ ජන නැගිටීම, ජූලි 14 වැනිදා උදෑසන අවිගත් පැරීසියේ ජනතාව රාජකීය බැස්ටීල් බලකොටුව වෙත පියනැගීම කරා යොමු කෙරිණ.

බිහිසුණු වෙඩි හුවමාරුවකින් අනතුරුව බැස්ටීල් බලකොටුව වෙත කඩාපැන එහි සිටි සිරකරුවෝ මුදාගැනීමට ඔවුහු සමත්වූහ.

එසේ සටහන් කෙරුණේ, අතීත රාජාණ්ඩු පාලනයට එරෙහි පැරිසියේ ජනතාව ඇරඹු විප්ලවයේ ප්‍රථම ජයග්‍රහණය විය.

ජූලි 14 වැනිදා ප්‍රංශයේ ජාතික නිවාඩු දිනයක් ලෙස නම් කරන්නැයි බෙන්ජමින් රැස්පේල් කළ යෝජනාව අනුමත කරමින් 1880 ජූලි 6 වැනිදා එරට පාර්ලිමේන්තුව පනතක් සම්මත කළේය.

ප්‍රංශය ගැන බිඳක්

බටහිර යුරෝපයේ පිහිටි ප්‍රංශය, යුරෝපා සංගමයට අයත් රටවල් පිහිටි සමස්ත භූමි ප්‍රමාණයෙන් 1/5 ක ප්‍රදේශයක් අරා පැතිර පවතී.

ඊට අයත් බිම් ප්‍රදේශය වර්ග කිලෝමීටර 550,000 කි.

බෙල්ජියම්, ලක්සම්බර්ග්, ජර්මනිය, ස්විට්සර්ලන්තය, මොනකෝ, ඇන්ඩෝරා සහ ස්පාඤ්ඤය යන රාජ්‍යවලට මායිම් බටහිර යුරෝපයේ පිහිටි ප්‍රංශයේ ප්‍රධාන බිම් ප්‍රදේශය, උතුරු මුහුද, ඉංග්‍රීසි ඕඩය, අත්ලන්තික් සාගරය සහ මධ්‍යධරණී මුහුදට මායිම් වන කිලෝමීටර 5,500 ක වෙරළ තීරයකින් හෙබිය.

ඒ අනුව, වර්ග කිලෝමීටර මිලියන 11 ට අධික ප්‍රදේශයක් පුරා පැතිර පවත්නා විශේෂිත ආර්ථික කලාපයකින් යුතු සමුද්‍ර කලාපයක් ප්‍රංශයට අයත්ය.

ප්‍රංශ ජනරජය, බටහිර යුරෝපයේ පිහිටි ප්‍රධාන බිම් ප්‍රදේශයට අමතරව විදේශයන්හි පිහිටි පාලන ප්‍රදේශවලින් ද සමන්විතය.

ප්‍රධාන බිම් ප්‍රදේශය කලාප 22 ක් සහ අනුබෙදීම් කෙරුණු පාලන ප්‍රදේශ 96 න් යුක්ත වේ.

ප්‍රංශයේ යටත් විජිතව පැවත, පසුව සිව්වැනි ජනරජයේ 1946 ව්‍යවස්ථාව අනුව ස්ථාපිත කෙරුණු විදේශ පාලන ප්‍රදේශ 4 ක් ද ප්‍රංශයට අයත්ය. කැරිබියන් මුහුදු කලාපයේ පිහිටි ගෝඩලූප් සහ මාර්ටිනික් මෙන්ම දකුණු අමෙරිකාවේ පිහිටි ප්‍රංශ ගයානාව සහ ඉන්දීය සාගරයේ පිහිටි රියුනියන් එම විදේශ පාලන ප්‍රදේශ වේ.

මීට අමතරව ප්‍රංශ පොලිනීසියාව, වොලිස් සහ ෆුටුනා, මේයොට්, සෙන්ට් පියේ සහ මිකෙලොන්, සෙන්ට් බාර්තෙලමී, සෙන්ට් මාර්ටින් සහ නිව් කැලිඩෝනියා යන විදේශ බල ප්‍රදේශ රැසක් ද ප්‍රංශ ජනරජයට අයත්ය.

2008 වසරේ ගණන් බැලීම් අනුව ප්‍රංශයේ ජනගහණය මිලියන 63.8 කි.

ප්‍රංශයේ ප්‍රධාන බිම් ප්‍රදේශයේ වන වැස්ම එම බිමෙන් 30% ක ප්‍රමාණයක පැතිර පවතී. යුරෝපා සංගමයට අයත් රටවල වන වැස්ම පිළිබඳ සැලකීමේදී ප්‍රංශය තුන්වැනි තැන රැඳී සිටී. ඊට ඉදිරියෙන් සිටින්නේ ස්වීඩනය සහ ෆින්ලන්තය පමණි.

පසුගිය වසර 200 පුරා ප්‍රංශය සිය වන වැස්ම දෙගුණයකින් වැඩිකරගෙන ඇති අතර 1945 වසරේ සිට එය ව්‍යප්තවීමේ ප්‍රතිශතය 46% කි.

පරිසරය සහ ස්වභාවික උරුමය පිළිබඳ දැඩි අවධානයක් යොමු කර ඇති ප්‍රංශය ජාතික වනෝද්‍යාන 7 ක්, ස්වභාව රක්‍ෂිත 156 ක්, ආරක්‍ෂා කළ යුතු සත්ත්ව වර්ග සඳහා වෙන් කෙරුණු ප්‍රදේශ 516 ක් සහ සංරණය කළ වෙරළ ප්‍රදේශ 429 ක් ස්ථාපනය කර තිබේ.

යුරෝපා සංගමයේ සභාපති පුටුවට ආ ප්‍රංශය

රාජ්‍ය විසිහතකින් සමන්විත යුරෝපා සංගමයේ වත්මන් සභාපතිත්වය ප්‍රංශයට හිමිව තිබේ.

2008 වසරේ පළමු අර්ධය අවසන් වන තෙක් ස්ලෝවේනියාව දැරූ යුරෝපා සංගම් සභාපතිත්වය ජූලි මස පළමුවැනිදා ප්‍රංශයට හිමි විය.

ඒ අනුව මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදා තෙක් ප්‍රංශය එම ධුරය හොබවයි.

ප්‍රංශ සභාපතිත්වය අංශ කිහිපයක් කෙරෙහි සිය වැඩසටහන් ඉලක්කගත කොට ඇත.

මෙම වසරේ ජනවාරි 23 වැනිදා යුරෝපා කොමිසම සිය යෝජනා ප්‍රකාශයට පත් කළ තැන් පටන් යුරෝපා පාර්ලිමේන්තුව දැඩි අවධානයක් යොමු කොට ඇති විෂයයක් වන බලශක්ති - කාලගුණික පැකේජය සහ යුරෝපා සංගමයේ බලශක්ති ප්‍රතිපත්තියට අදාළ කරුණු, ප්‍රංශ සභාපතිත්වයේ ප්‍රමුඛතාව හිමිවන එක් අංශයකි. ඒ අනුව මෙම වර්ෂය තුළදී අදාළ සමස්ත පැකේජය සම්බන්ධයෙන් යුරෝපා සංගමය තුළ දේශපාලනික වශයෙන් එකඟතාවක් ඇති කර ගැනීම ප්‍රංශයේ අපේක්‍ෂාව වේ.

සංක්‍රමණයට අදාළ කරුණ කෙරෙහි ප්‍රංශ සභාපතිත්වයේ මීළඟ ප්‍රමුඛතාව හිමි වේ.

යුරෝපය සැළකිය යුතු ලෙස ජනගහණ සහ ආර්ථික පීඩනයකට ලක්ව ඇති තත්ත්වය තුළ. ප්‍රජා ප්‍රතිපත්ති පිළිබඳ ඒකමිතියක් සහ සාමාජික රටවල ක්‍රියාකාරීත්වය සම්බන්ධීකරණය කිරීමේ අවශ්‍යතාව මතුව ඇති බව ප්‍රංශයේ අදහසය. ඒ අනුව රැකවරණ ඉල්ලා සිටීම්වලට අදාළ ප්‍රතිපත්ති හුවමාරුව සහ ගැලපීම වර්ධනය කිරීම, යුරෝපා සංගමය තුළ අනාගත ප්‍රංශ සභාපතිත්වයේ අපේක්‍ෂාව වේ.

තෙවනුව, යුරෝපයේ ආරක්‍ෂාව දෙස ද ප්‍රංශය සිය අවධානය යොමු කරයි.

ආහාර අසමතුලිතතාව සහ මිල ඉහළ යන ලෝක ප්‍රවණතාව තුළ, එය නිවැරදි කිරීම අරමුණු කරගත් පොදු ප්‍රතිපත්ති නිශ්චය කිරීමේ අවශ්‍යතාව ද ප්‍රංශය පෙන්වා දී තිබේ. ඒ අනුව පොදු කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් සැකසීම කෙරෙහි ප්‍රංශය සිය අවධානය යොමු කර තිබේ.

සමාජිය, ආර්ථිකය, මුල්‍ය සහ සංස්කෘතික වැනි ක්‍ෂේත්‍රවල මෙන්ම ජාත්‍යන්තර තලයේ ද දක්නට ලැබෙන යුරෝපා සංගමයේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම කෙරෙහි ද ප්‍රංශ සභාපතිත්වයට අවශ්‍යව තිබේ.

යුරෝපා පාර්ලිමේන්තුව
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට ප්‍රංශයේ අතහිත

ශ්‍රී ලංකාවේ අන් ක්‍ෂේත්‍ර මෙන්ම සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට ද ප්‍රංශය සිය සහයෝගයේ හස්තය දිගු කර තිබේ.

විශේෂයෙන්ම සෞඛ්‍ය පර්යේෂණ සඳහා ලැබෙන ප්‍රංශ දායකත්වය ප්‍රශංසනීය ය. එම අංශයේ අදාළ වැදගත් පුහුණු පාඨමාලාවක් පසුගිය ජූනි මස 30 වැනිදා සිට ජූලි 4 වැනිදා දක්වා කොළඹ පිහිටි වෛද්‍ය පර්යේෂණායතනයේ දී පැවැත්විණ.

"ජීව විද්‍යාත්මක රෝග විනිශ්ච හා රෝග විමර්ශන ක්‍රම සංවර්ධනය" යන මැයින් දෙවන වරටත් එම වැඩමුළුවට ප්‍රංශ ප්‍රජා සෞඛ්‍ය විමර්ශනය පිළිබඳ ආයතනයේ (INVS), ප්‍රංශ පාස්චර් ආයතනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගය ලැබිණ.

මෙම පුහුණු වැඩමුලුවේ පරමාර්ථ අතර, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පර්යේෂණාගාර කාර්ය මණ්ඩලය නවීන ක්ෂුද්‍රජීව විද්‍යාත්මක හා ජාන විද්‍යාත්මක රෝග විනිශ්ච තාක්ෂණ ක්‍රම පිළිබඳව පුහුණු කිරීම සහ ප්‍රජා සෞඛ්‍ය විමර්ශන කටයුතු සඳහා පර්යේෂණාගාර භාවිත කිරීම සම්බන්ධව පුහුණු කිරීම ප්‍රධාන විය.

මීට අමතරව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ තාක්ෂණික පහසුකම් උසස් කිරීම සඳහා ජාන විද්‍යාත්මක රෝග විනිශ්ච යන්ත්‍රයක් වන PCR යන්ත්‍ර 2ක් ප්‍රංශය විසින් වෛද්‍ය පර්යේෂණ ආයතනයට ප්‍රදානය කෙරුණු අතර, දීර්ඝ කාලීනව ප්‍රංශ හා ලාංකික විද්‍යාඥයන් අතර දැනුම හුවමාරු කිරීමේ කටයුතු ප්‍රවර්ධනය කිරීම ද එහිදී සිදුවිය.

පර්යේෂණාගාර කටයුතු හා සම්බන්ධ ආරක්ෂාකාරී බව සහ තත්ත්ව සහතික මට්ටම පවත්වා ගැනීමේ ක්‍රම පිළිබඳ කරුණු සාකච්ඡා කිරීමත් ඊට අදාළ පුරුදු හඳුන්වාදීමත් එහිදී සිදුවිය. තව ද, ලොව පුරා මදුරුවන් මගින් බෝවන ඩෙංගු, චිකුන්ගුන්යා වැනි රෝග සහ ඉන්ෆ්ලුවෙන්සාව, පක්‍ෂි උණ, මී උණ වැනි වෙනත් බෝවන රෝග සම්බන්ධ පර්යේෂණ කටයුතුවල ප්‍රංශයේ මැදිහත්වීම් ගැනත් මෙම වැඩමුලුවේදී කරුණු ඉදිරිපත් කෙරිණ.

මෙම කටයුත්ත ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර සහයෝගීතාව සහ සබඳකම් වර්ධනය කිරීම සිදුවූ තවත් එක් අවස්ථාවක් ලෙස හැඳින්විය හැක.

පශ්චාත් සුනාමි සංවර්ධනයට ප්‍රංශයේ දායකත්වය

වර්ෂ 2004 දෙසැම්බර් මස සුනාමියට ලක්වූ ප්‍රදේශවල ප්‍රතිසංස්කරණ කටයුතුවලට සම්බන්ධ අංශවලින්, භූමි දත්ත හා නගර සැලසුම් සඳහා අවැසි තාක්ෂණික උපාංග හා තොරතුරුවල අවශ්‍යතා පිළිබඳ කෙරුණු ඉල්ලීම් වලට පිළිතුරක් ලෙස "සුනාමි ප්‍රතිසංස්කරණ කටයුතු විමර්ශනය සඳහා අවකාශය පිළිබඳ යටිතල පහසුකම් " (Spatial Information Infrastructure for Reconstruction Monitoring- SIIRM) නම් වූ ව්‍යාපෘතියක් ප්‍රංශ ආධාර සහිතව ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට නියමිතය.

වසර 2ක ව්‍යාපෘතියක් ලෙස ප්‍රංශයෙන් සැපයෙන යුරෝ මිලියන 6.2ක ණය ඔස්සේ Groupe FIT, FIT Counseil සහ IGN France International යන ප්‍රංශ සමාගම් සමූහය එම කටයුත්ත ක්‍රියාවට නංවනු ඇත. මින් ශ්‍රී ලංකාවේ නගර සංවර්ධන අධිකාරිය සහ මිනින්දෝරු දෙපාර්තුමේන්තුව සෘජු ප්‍රතිලාභ ලබන නමුත් රාජ්‍ය හා රාජ්‍යනොවන සංවිධාන රැසක් ද මේ එතුළින් ප්‍රයෝජන ලබනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

මෙම ව්‍යාපෘතිය ප්‍රතිසංස්කරණ හා නගර සංවර්ධන කටයුතුවලට සම්බන්ධ ක්ෂේත්‍ර 4ක් ආවරණය කරනු ඇත. ඒවා නම්; සිතියම්ගත කිරීම, භූ විද්‍යාත්මක දත්ත පද්ධති (Geographical Information Systems- GIS) යෙදුම් සැකසීම, පුහුණු කිරීම් සහ ඊට අදාළ තොරතුරු තාක්ෂණික උපාංග ලබා දීමය.

එම සිතියම්ගත කිරීම චන්ද්‍රිකා ඡායාරූප ඇසුරෙන් සිදු කෙරේ. එහිදී, ත්‍රීකුණාමලයේ සිට ගාල්ල දක්වා දිස්ත්‍රික්ක 6ක වර්ග කිලෝමීටර 15000ක භූවිෂමතා දත්ත අඩංගු ගබඩාවක් ගොඩනැගීම සිදුවන අතර ත්‍රීකුණාමලය, කින්නියා, මුතූර්, වාලච්චේන/කල්කුඩා, කල්මුණේ, මඩකලපුව, පොතුවිල්, හම්බන්තොට හා මාතර යන නගරවල චන්ද්‍රිකා ඡායාරූප සමග ක්ෂේත්‍ර දත්ත ඇසුරු කොට නාගරික භූ දත්ත අඩංගු ගබඩාවක් ගොඩනැගීම කෙරෙනු ඇත.

මෙහි පුහුණු කිරීම්වලදී GIS තාක්ෂණික යෙදුම්, භූවිෂමතා දත්ත ගබඩා යොදාගැනීම, නගර සැලසුම් කටයුතු සහ තොරතුරු හුවමාරු කිරීම වැනි අංශ රාශියක් ආවරණය වේ.

මෙම ව්‍යාපෘතිය තුළින් තොරතුරු තාක්ෂණික උපාංග ලෙස සම්පූර්ණ මෘදුකාංග හා දෘඩාංග පද්ධතියක් සමග GPS (Global Positioning System) උපකරණ, කාර්යාල ඉඩ කඩ ආදිය ද සපයාදෙනු ලැබේ.

SIIRM ව්‍යාපෘතිය තුළින් පළමුවරට ශ්‍රී ලංකාවේ හතරෙන් එකක් වැනි ප්‍රදේශයක මහා පරිමාණ භූ විද්‍යාත්මක දත්ත ගබඩාවක් සකසනු ලබන අතර මුළු රටම ආවරණය වන GIS දත්ත පද්ධතියක් සැකසීමේ අවස්ථාව මින් එළඹෙනු ඇත.

ප්‍රංශ භාෂාව ඉගෙනීමට ඇති අවස්ථා

මෙරට ප්‍රංශ භාෂාව ඉගැන්වී‌මේ ආරම්භය නිදහසට පෙර බ්‍රිතාන්‍ය පාලන සමය දක්වා දිව යයි. එකල ප්‍රංශ භාෂාව ඉතා උසස් මට්ටමෙහි ලා පිළිගත් භාෂාවක් වුව ද මෙරට එය උගන්වනු ලැබුවේ අධ්‍යාපන ආයතන කිහිපයක පමණි. නමුත් නිදහස් ශ්‍රී ලංකාව තුළ ප්‍රංශ භාෂාව විදේශ භාෂාවක් ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විසින් මෙරට ජාතික විෂය මාලාවට ඇතුළත් කරනු ලැබුවේ මීට දශක තුනකට පමණ ඉහතදීය.

පාසල් හා විශ්ව විද්‍යාල තුළ ප්‍රංශ භාෂාව

වර්තමානයේ ශ්‍රී ලංකා‌වේ ජාතික පාසල් 50ක පමණ ප්‍රංශ භාෂාව ඉගැන්වේ. ඒ අනුව අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සදහා ප්‍රංශ භාෂාව හැදෑරීමේ අවස්ථාව එම සිසු සිසුවියන්ට හිමි වේ. වසරකට සාමාන්‍යයෙන් සිසු සිසුවියෝ 400 ක් පමණ අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා ප්‍රංශ භාෂාව විෂයක් ලෙස හදාරති.

මෙරට විශ්ව විද්‍යාල අතරින් කැලණිය, පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර, යාපනය හා රුහුණ විශ්ව විද්‍යාලවල ප්‍රංශ භාෂා‌ව, ප්‍රංශ සාහිත්‍ය සහ ප්‍රංශ ශිෂ්ටාචාරය පිළිබඳ පාඨමාලා පැවැත්වේ. මේ අතර කැලණිය විශ්ව විද්‍යාලයේ ප්‍රංශ භාෂා‌ව පිළිබඳව උපාධි පාඨමාලාවක් පැවැත්වෙන අතර අවශ්‍ය නම් සිව් වසරක විශේෂ උපාධියක් ලබා ගැනීමේ අවස්ථාව ද සිසු සිසුවියන්ට හිමි වේ. මීට අමතරව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සංචාරක, හෝටල් සහ ව්‍යාපාර වැනි අධ්‍යයන ක්ෂේත්‍රවල විෂය කොටස් ප්‍රංශ භාෂා‌වෙන් ඉගැන්වේ.

ප්‍රංශ භාෂාව ප්‍රචලිත කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව තුළ ප්‍රංශ භාෂාව ප්‍රචලිත කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය කාලෝචිත පියවර රැසක් ගෙන ඇත. ඒ යටතේ ප්‍රංශ භාෂා පුහුණුව ලබා දීම සඳහා ප්‍රථම ගුරුවරුන් කණ්ඩායම පස්දුන්රට ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයට 2006 වසරේ දී බඳවා ගැනිණ. මීට අමතරව මෙරට අධ්‍යාපන අමාත්‍යංශය විසින් කරන ලද ඉල්ලීමකට අනුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ප්‍රංශ රජය ලබා දෙන සහය තවත් ශක්තිමත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලය 2006 වසරේ දී අවබෝධතා ගිවිසුමකට ද එළඹුණි. ඒ යටතේ ගුරු පුහුණු වැඩසටහන සඳහා අවශ්‍ය උපදේශකයන් සැපයීම ප්‍රංශ තානාපති කාර්යාල‌ෙය් සම්බන්ධීකරණයෙන් සිදු වේ.

මෙම අවබෝධතා ගිවිසුම ප්‍රංශ තානාපති මිෂෙල් ලුමෝ මහතා විසින් 2008 වසරේ දී නැවත අලුත් කරන ලදී. ඒ අනුව මෙරට ප්‍රංශ භාෂා‌ව ප්‍රචලිත කිරීමට අවශ්‍ය ගුරු පුහුණු වැඩසටහන සඳහා ප්‍රංශ රජයේ දායකත්වය ඉදිරියේදී ද ලැබෙනු ඇත.

වර්ෂ 1980 දී ආරම්භ කරන ලද "ප්‍රංශ භාෂා‌ව උගන්වන ගුරුවරුන්ගේ සංගමය" මෙරට ක්‍රියාත්මකවන එකම ප්‍රංශ භාෂා‌ව උගන්වන ගුරුවරුන්ගේ සංගමය වේ. සාමාජිකයින් 70 දෙනෙකුට අධික පිරිසකින් සමන්විත එම සංගමය ප්‍රංශ තානාපති කාර්යාල‌ය හා ඒකාබද්ධ වෙමින් මෙරට ප්‍රංශ භාෂා‌ව ප්‍රචලිත කිරීමටත් ගුරු පුහුණු වැඩසටහන් සාර්ථක කරලීමටත් නිරතුරුව දායකත්වය සපයයි.

අයවැයට විරුද්ධ වීමට එජාපය තීරණය කරයි
බස් ගාස්තු අඩු කිරීමට රජයේ අවධානය
අයවැය හිඟය රුපියල් බිලියන 336.67
අක්කරායන්කුලම් සම්පූර්ණයෙන්ම හමුදාව අතේ
අනුරාධපුර බෝම්බ ප්‍රහාරය සම්බන්ධ පෙත්සමක්
ශ්‍රී ලංකාවේ 62 වන අයවැය
එල්.ටී.ටී.ඊ. ඉලක්කයකට ගුවන් ප්‍රහාර
අද සිට ඉන්ධන මිල අඩු කෙරේ
රාජ්‍ය සේවක ජීවන වියදම් දීමනාව වැඩිකිරීමට යෝජනා
ඉන්ධන මිල අඩු කිරීමට යෝජනා කෙරේ
වැට් බද්ද 12%ට අඩු කිරීමට යෝජනා
'මිහින් ලංකා' වෙනුවෙන් රු. මිලියන 6000ක්
 
 
 
 
 
 
Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
Privacy Statment