මාර්තු
25 - කැලණිය ගුවන් පාලම අද(මාර්තු 25) විවෘත කෙරිණ.
අද පෙරවරුවේ ගුවන් පාලම විවෘත කෙරුණේ, ජනාධිපති මහින්ද රාජපක්ෂ
මහතා අතිනි.
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ පිහිටි ගුවන් පාලමේ පළමු අදියර
නිම කිරිමට දින 61 ක කාලයක් ගත වූ බව මාර්ග සංවර්ධන අධිකාරිය
පවසයි.
ඒ අනුව, අද දින සිට මෙම ගුවන් පාලමේ මංතීරු දෙකක් ජනතා අයිතියට
පවරන ලදී.
බ්‍රිතාන්‍ය රජයේ ආධාර ඇතිව ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු සිදු
කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති එම්. බී. එස්. ප්‍රනාන්දු
මහතා ප්‍රකාශ කළේය.
මීටර්
325 ක් දිගින් යුතු පළල මීටර් 7. 7 ක් වූ මෙම ගුවන් පාලමේ ඉදිකිරීම්
සඳහා ඇස්තමේන්තු මුදල රුපියල් බිලියන 2 කි.
ගුවන් පාලම අද විවෘත කිරීමෙන් අනතුරුව සෙසු මංතීරු දෙකේ කටයුතු
ආරම්භ කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති එම්. බී. එස්.
ප්‍රනාන්දු මහතා පැවසීය.
දිනකට හැත්තෑ දහසකට ආසන්න රථවාහන ප්‍රමාණයක් ගමන් ගන්නා මෙම
මාර්ගයේ රථවාහන තදබදය අවම කර ගැනීම මෙම පාලම ඉදිකිරීමේ අරමුණය.
මහා මාර්ගය හරහා වැටී තිබූ දුම්රිය මාර්ගය හේතුවෙන් ඇතිවූ වාහන
තදබදය මේ හේතුවෙන් මග හැරී යනු ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය
පවසයි.
මෙම
ගුවන් පාලමේ දෙවන අදියර යටතේ තවත් මංතීරු 2 ක් ඉදිකිරීමට සැලසුම්
කර ඇත.
ඒ අනුව, මෙම සම්පූර්ණ ගුවන් පාලම දින 120 ක් තුළදී අවසන් කිරීම
මාර්ග සංවර්ධන අධිකාරියේ අදහසය.
මෙම පාලම ඉදිකර ඇත්තේ, පෙරසවි පාලම් ක්‍රමය යටතේය. එනම්, කලින්
සකස් කළ පාලමේ කොටස් සවි කිරීම මගින් මෙම පාලම සකස් කර තිබේ.
සාමාන්‍ය
ක්‍රමය මගින් මෙවැනි ගුවන් පාලමක් ඉදිකිරීමට වසර 3 ක් පමණ ගත
විය හැකි අතර මෙම පෙරසවි ක්‍රමය යටතේ දින 120 ක් වැනි කෙටි කාලයක්
තුළ අවසන් කිරීමට හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.
දින 61 ක කාලයකදී එම පාලමේ ඉදිකිරීම් නිම කිරීම ලෝක වාර්තාවක්
ලෙස ද සැලකේ.
මීට පෙර පිලිපීනයේ මැනිලාහි පිහිටි මැලලෝස් ගුවන් පාලම ලොව
කෙටි ම කලකින් ඉදි කළ ගුවන් පාලම ලෙස හැඳින්වුණු අතර එය ඉදිකිරීමට
දින 66 ක් ගත විය. |