| 2009 අයවැය යෝජනා |
| ආදායම් |
| 01. තිරිඟු මත පැනවෙන තීරු
බද්ද 6% සිට 10% දක්වා ඉහළ දැමේ. 02.
ධාන්‍ය ආනයනයේදී 15%ක සෙස් බද්දක්
03. ආනයනය කරන කිරි පිටි සඳහා
විශේෂ භාණ්ඩ බද්ද කිලෝවකට රුපියල් 5 සිට රුපියල් 15 දක්වා වැඩි
කෙරේ.
04. ආනයනය කරන සීනි සඳහා ඇති
විශේෂ භාණ්ඩ බද්ද රුපියල් 14 සිට රුපියල් 16 දක්වා වැඩි කෙරේ.
05. පිටරටින් ගෙන්වන කඩදාසි
සඳහා 5%ක සෙස් බද්දක්
06. ආනයනය කෙරෙන ගෘහ හා කාර්යාල
භාණ්ඩ සඳහා ද 15%ක සෙස් බද්දක්
07. පාවහන්, අත් බෑග්, පටි හා
වෙනත් සම් භාණ්ඩ ආනයනයේදී කිලෝවකට රුපියල් 200ක සෙස් බද්දක්
08. පොලිතින් හා ප්ලාස්ටික්
පරිහරණය අධෛර්යය කිරීම සඳහා අදාළ සෙස් බද්ද 4% කින් ඉහළ දැමේ.
09. පොලිතින් හා ප්ලාස්ටික්
සඳහා වූ සෙස් බද්ද 4% කින් ඉහළට
10. පිටරටින් ගෙන්වනු ලබන සාරි,
සරම්, මසා නිම කළ ඇඳුම් හා රෙදිපිළි සඳහා ඇති සෙස් බද්ද 50%
කින් වැඩි කෙරේ
11. ආනයනය කරන චොක්ලට්, බිස්කට්,
රස කැවිලි සඳහා වන සෙස් බද්ද ද 50%කින් ඉහළට
12. ආනයනික ලුණු කිලෝවකට රුපියල්
10ත සෙස් බද්දක්
13. ජංගම දුරකතන හා රැහැන් රහිත
දුරකතන සඳහා අදාළ 10% ක බද්ද ස්ථාවර දුරකතන සඳහාත් අය කෙරේ
14. වසර 2කට 1%ක ජාතිය ගොඩනැගීමේ
බද්දක් |
| සහන |
| 01. විදුලිය ඒකක 90ට අඩුවෙන්
පරිභෝජනය කරන සෑම පාරිභෝගිකයෙකුට ම මසකට රු. 30ක වට්ටමක්
02. ජල ඒකක 15ට අඩුවෙන් පරිභෝජනය
කරන පාරිභෝගිකයෙකුට රු. 20ක මාසික වට්ටමක්
03. පෞද්ගලික ආදායම් බදු බර
5%කින් පමණ අඩු වෙයි
04. කාබනික පොහොර හා පිදුරු
වැනි ද්‍රව්‍ය භාවිත කරන සියලු ගොවීන්ට ගොවි සමිතිවල ඇප මත අක්කරයකට
පොහොර මිටි තුනක්
05. රජයේ සේවකයින්ගේ ජීවන වියදම්
දීමනාව රු. 1000කින් වැඩි කෙරේ
06. ඩීසල් ලීටරයක් රු. 30කින්
ද, භූමිතෙල් ලීටරයක් රු. 20කින් ද, පෙට්‍රල් ලීටරයක් රු. 15කින්
ද අඩු කෙරේ
07. අඩු ආදායම් ලබන පවුල්වල
වයස අවුරුදු 1 සිට 5 දක්වා දරුවන් වෙනුවෙන් රු. 200ක මාසික දීමනාවක්
|
| අයවැය දෙවන වර කියවීමේ
විවාදය |
නොවැ. 07 - අයවැය දෙවන වර කියවීමේ විවාදය අද
පාර්ලිමේන්තුවේදී ආරම්භ විය.
සාමාන්‍යයෙන් විවාදය ආරම්භ කරන්නේ විපක්ෂය වුවත්
අද ආණ්ඩු පක්ෂය විවාදය ආරම්භ කිරිම විශේෂත්වයකි.
මේ අනුව, රාජ්‍ය ආදායම් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය
මහතා අදහස් දැක්වීම ආරම්භ කළේය.
එහෙත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා විපක්ෂයේ
ප්‍රධාන සංවිධායක ජෝසෆ් මයිකල් පෙරේරා යන මහත්වරුන් මූලාසනයේ
අවධානයට යොමු කළේ, විවාදය විපක්ෂයෙන් ආරම්භ කළ යුතු බවය.
ජනතාවට රුපියල් සියයක් ලබාදී දහසක් ලබා ගැනීමේ
යෝජනා මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී
රවි කරුණානායක මහතා ප්‍රකාශ කළේය.
කෙටි කාලීන, මාධ්‍ය කාලීන හා දිගු කාලීන විසඳුම් වැඩපිළිවෙළක්
මෙවර අයවැය තුළින් ඉදිරිපත් කර ඇති බව රාජ්‍ය ආදායම් අමාත්‍ය
රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.
ආණ්ඩුව පනවා ඇති බදු හේතුවෙන් කිරි පිටි ඇතුළු
ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන බව ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී
සුනිල් හඳුන්නෙත්ති මහතා විවාදයට එක්වෙමින් පැවසීය.
මෙහිදී වැවිලි කර්මාන්ත අමාත්‍ය දි.මු. ජයරත්න
මහතා ප්‍රතිචාර දැක්වීමත් සමග සංවාදයක් ආරම්භ කළේය.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, අයවැයෙන්
බදු ඉහළ නැංවුවත් කිරි පිටි මිල ඉහළ දැමිය නොහැකි බවය.
මේ අතර, දේශීය ආර්ථිකය වර්ධනයට අයවැයෙන් කිසිදු
සහනයක් ලැබී නොමැති බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි වජිර අබේවර්ධන
මහතා ප්‍රකාශ කළේය.
ඔහු පැවසුවේ, මෙවර අයවැයේ රාජ්‍ය සේවකයින්ගේ ආපදා
ණය පිළිබඳව සඳහන් කර ඇතත් වසර ගණනාවකින් රජයේ සේවකයින්ට ආපදා
ණය ගෙවා නැති බවය.
පාර්ලිමේන්තුවේ සේවකයින්ට පවා දිගු කලක් ආපදා
ණය ගෙවා නැති බව මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.
ඉලංගෙයි තමිල් අරසුකට්චි මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්
මහතා පැවසුවේ, දෙමළ ජනතාව පිළිගන්නා විසඳුමක් ඉදිරිපත් නොකර
යුද්ධයෙන් එම ජනතාව යටපත් කළ නොහැකි බවය. |
| අයවැය ගැන මැති සබේ
කතා |
| නොවැ. 07 - රුපියල් සියයක් ජනතාවට ලබා දී
අනෙක් පසින් රුපියල් දහසක් යළි ලබා ගැනීමේ වැඩපිළිවෙළක් අයවැය
හරහා ක්‍රියාත්මක වන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. දේශීයත්වය
රකින බවට රජය අයවැය යෝජනාවලින් ප්‍රකාශ කර ඇතත් පවතින දේශීය
කර්මාන්ත නගා සිටුවීමේ වැඩපිළිවෙළක් නොමැති බව රවී කරුණානායක
මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
අද අයවැය විවාදය ආරම්භ කරමින් ඔහු මේ බව පැවසීය.
මේ අතර, ජනතාවාදී තුලනාත්මක අයවැයක් මෙවර ඉදිරිපත්
කර ඇති බව රාජ්‍ය ආදායම් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද
පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. |
| අයවැයට විරුද්ධ වීමට
එජාපය තීරණය කරයි |
| නොවැ. 06 - මෙවර අයවැයට විරුද්ධව ඡන්දය භාවිත
කිරීමට එක්සත් ජාතික පක්ෂය ඒතමතිකව තීරණය කර ඇතැයි එම පක්ෂය නිකුත්
කළ නිවේදනයක දැක්වේ. එක්සත් ජාතික පක්ෂය
පවසන්නේ, මෙවර අයවැය තුළින් ජනතාවට සහන සැලසීමක් සිදු නොවන බවය.
පනවා ඇති බදු කිහිපයක් හේතුවෙන් භාණ්ඩ මිල ඉහළ
යා හැකි බවට ද එම පක්ෂය අනතුරු අඟවයි. |
| ශ්‍රී ලංකාවේ 62
වන අයවැය |
| නොවැ. 06 - නිදහසින් පසු ශ්‍රී ලංකා ආර්ථිකයේ
62 වන මූල්‍ය වර්ෂය සඳහා වන අයවැය යෝජනා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත්
කෙරිණි. ජනාධිපතිවරයා මෙවර කරුණු 48ක්
යටතේ සිය අයවැය යෝජනා ඇතුළත් කතාව ඉදිරිපත් කළේය.
පස්වරු 1ට අයවැය සභාවට ඉදිරිපත් කරමින් ජනාධිපති
මහින්ද රාජපක්ෂ මහතා පළමුවෙන් ම පෙන්වා දුන්නේ, ත්‍රස්තවාදයෙන්
තොර රටක් බිහි කිරීම මුළු රටේ ම අප්ක්ෂාව බවය.
එබැවින් තමන් ත්‍රස්තවාදීන්ගෙන් ඉල්ලා සිටින්නේ,
අව් බිම තබා මේ අවස්ථාවේ වුවත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට
එක් වන ලෙස යැයි ජනපති අවධාරණය කළේය.
ආරක්ෂක හමුදා එල්.ටී.ටී.ඊ. ය පරාජය කිරීම සඳහා
මෙතෙක් කටයුතු කර ඇත්තේ, සිවිල් වැසියන්ට හානියක් නොවන ආකාරයෙන්
බව පෙන්වා දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ, සභාවේ
ගෞරවය ආරක්ෂක හමුදාවලට හිමිවිය යුතු බවය.
මෙවර අයවැයෙන් අංශ ගණනාවක් පිළිබඳව විශේෂ අවධානය
යොමුව තිබේ. එහිදී ඉදිරිපත් කළ යෝජනා අතර සහන රැසක් ද වේ.
ඉන්ධන මිල ගණන් අඩු කිරීම, වැට් බදු පහත හෙළීම
මෙන්ම දේශීය කර්මාන්ත හා අපනයන දිරිගැන්වීම සඳහා අවශ්‍ය යෝජනා
ඊට ඇතුළත්ය.
ජාතික ආරක්ෂාව, සෞඛ්‍ය සේවය, අධ්‍යාපනය මෙන් ම
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ද අතිරේක ප්‍රතිපාදන වෙන්
කිරීම මෙවර අයවැයේ තවත් විශේෂත්වයකි.
ජනතාවට බලපාන මූලික ගැටලු අවම කිරීම ඒ අතරින්
ප්‍රධානය. |
| අයවැය හිඟය රුපියල්
බිලියන 336.67 |
| නොවැ. 06 - අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ
අයවැය අනුව රජයේ ඇස්තමේන්තු ගත මුළු ආදායම රුපියල් බිලියන 855කි.
ඉන් රුපියල් බිලියන 779ක් බදු වශයෙන්
ඉපැයීමට අපේක්ෂිතය.
ලබන වසර සඳහා රජයේ අපේක්ෂිත මුළු වියදම රුපියල්
බිලියන 1191.67කි.
ඒ අනුව, ලබන වසරේ අයවැය හිඟය රුපියල් බිලියන 336.67කි.
එය පියවා ගැනීම සඳහා විදේශයන්ගෙන් රුපියල් බිලියන
123.02ක ණය ලබා ගැනීමට අපේක්ෂිතය.
දේශීය වශයෙන් ඒ සඳහා රුපියල් බිලියන 183.13ක ණය
ලබා ගැනෙනු ඇත.
ඒ අනුව, මෙවර ඇස්තමේන්තුගත අයවැය හිඟය දළ දේශීය
නිෂ්පාදනයෙන් සියයට 6.5කි. |
| ඉදිරි මූල්‍ය වර්ෂයේ
යෝජිත ආදායම් මාර්ග |
| නොවැ. 06 - ඉදිරි මූල්‍ය වර්ෂයේ ආදායම උපයාගැනීම
සඳහා මෙවර අයවැයෙන් යෝජනා කීපයක් ඉදිරිපත් කර තිබේ. තිරිඟු
පිටි පරිභෝජනය අධෛර්යමත් කර සහල් හා අනෙකුත් ධාන්‍ය නිෂ්පාදනය
දිරි ගැන්වීම සඳහා මෙවර අයවැයෙන් තිරිඟු මත පැනවෙන තීරු බද්ද
6% සිට 10% දක්වා ඉහළ දැමීමට යෝජිතය.
මීට අමතරව ධාන්‍ය ආනයනයේදී 15%ක සෙස් බද්දක් පැනවීමට
ද යෝජනා කර තිබේ.
ආනයනය කරන කිරි පිටි සඳහා විශේෂ භාණ්ඩ බද්ද කිලෝවකට
රුපියල් 5 සිට රුපියල් 15 දක්වා වැඩි කිරීමටත්, ආනයනය කරන සීනි
සඳහා ඇති විශේෂ භාණ්ඩ බද්ද රුපියල් 14 සිට රුපියල් 16 දක්වා
වැඩි කිරීමටත් අද ඉදිරිපත් කෙරුණු අයවැයෙන් යෝජනා විය.
පිටරටින් ගෙන්වන කඩදාසි සඳහා 5%ක සෙස් බද්දක්
පැනවෙන අතර, ආනයනය කෙරෙන ගෘහ හා කාර්යාල භාණ්ඩ සඳහා ද 15%ක සෙස්
බද්දක් යෝජනා කර තිබේ.
මෙවර අයවැය යෝජනා අතර පාවහන්, අත් බෑග්, පටි හා
වෙනත් සම් භාණ්ඩ ආනයනයේදී කිලෝවකට රුපියල් 200ක සෙස් බද්දක්
අය කිරීම ද ඇතුළත්ය.
පොලිතින් හා ප්ලාස්ටික් පරිහරණය අධෛර්යය කිරීම
සඳහා අදාළ සෙස් බද්ද 4% කින් ඉහළ දැමීමට යෝජිතය.
පිටරටින් ගෙන්වනු ලබන සාරි, සරම්, මසා නිම කළ
ඇඳුම් හා රෙදිපිළි සඳහා ඇති සෙස් බද්ද 50% කින් වැඩි කිරීම විශේෂත්වයකි.
මේ අතර ආනයනික ශීතකරණ, විදුලි පංකා, පිඟන් වැනි
භාණ්ඩ සඳහා සෙස් බද්ද 50% කින් වැඩි කිරීමට මෙවර අයවැයෙන් යෝජනා
කර තිබේ.
ආනයනය කරන චොක්ලට්, බිස්කට්, රස කැවිලි සඳහා
වන සෙස් බද්ද ද 50% කින් ඉහළ දැමීමට යෝජිතය.
ආනයනික ලුණු කිලෝවකට රුපියල් 10ත සෙස් බද්දක්
ද මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ.
මෝටර් රථ, සුඛෝපභෝගී භාණ්ඩ හා මත්පැන් වැනි ද්‍රව්‍ය
සඳහා ද 20% ක වැට් බද්ද එලෙසින්ම පවත්වා ගෙන යාමට යෝජිත අතර
දැනට ජංගම දුරකතන හා රැහැන් රහිත දුරකතන සඳහා අදාළ 10% ක බද්ද
ස්ථාවර දුරකතන සඳහා අයකිරීමට යෝජිතය. |
| ජාතිය ගොඩනැගීමේ
බද්දක් |
| නොවැ. 06 - මෙවර අයවැය යෝජනා තුළින් ජාතිය
ගොඩනැගීමේ බද්දක් හඳුන්වා දී තිබේ. මෙම
බද්ද ආනයනයන්ට ද, නිෂ්පාදනයන්ට ද, බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රය
හැර අනෙකුත් සේවාවන්වල පිරිවැටුම මත ද පැනවීමට යෝජනා කෙරිණි.
මෙම බද්ද 1%ක අගයක් ගන්නා අතර වසර 2ක කාලයක් ක්‍රියාත්මක
කිරීමට යෝජනා වී තිබේ.
ආරක්ෂක හමුදාවල ශුභසාධනය සහ ත්‍රස්තවාදය නිසා
විනාශ වූ ජන ජීවිත හා යට්තල පහසුකම් යළි ගොඩනැගීමට සමාජයේ දායකත්වය
ලබා ගැනීම සඳහා මෙම ජාතිය ගොඩනැගීමේ බද්ද යෝජනා කර ඇත. |
| විදුලිය සහ ජලය පිරිමසින්නන්ට
සහන |
| නොවැ. 06 - විදුලිය ඒකක 90ට අඩුවෙන් පරිභෝජනය කරන
සෑම පාරිභෝගිකයෙකුට ම මසකට රු. 30ක වට්ටමක් සහ ජල ඒකක 15ට අඩුවෙන්
පරිභෝජනය කරන පාරිභෝගිකයෙකුට රු. 20ක මාසික වට්ටමක් දීමට අයවැයෙන්
යෝජන විය. |
| ආදායම් බදු බර 5%කින්
අඩුකිරීමට පියවර |
| නොවැ. 06 - මෙවර අයවැයට ආදායම් බදු සම්බන්ධ
සංශෝධන කිහිපයක් ද ඇතුළත් වේ. කාණ්ඩ කිහිපයක්
යටතේ පැවති ආදායම් කාණ්ඩ 3ක් රුපියල් ලක්ෂ 4 බැගින් ද, තවත්
කාණ්ඩ 3ක් රුපියල් ලක්ෂ 5 බැගින් ද බද්දට යටත් කිරීමට යෝජිතය.
මේ හේතුවෙන් පෞද්ගලික ආදායම් බදු බර 5%කින් පමණ
අඩු වනු ඇත. |
| කාබනික පොහොර භාවිතය
දිරිමත් කෙරේ |
| නොවැ. 06 - ලබන මාස් කන්නයේ සිට කාබනික පොහොර
හා පිදුරු වැනි ද්‍රව්‍ය භාවිත කරන සියලු ගොවීන්ට අක්කරයකට පොහොර
මිටි තුනක් ගොවි සමිතිවල ඇප මත සැපයීමට අයවැයෙන් යෝජනා කෙරිණ.
ගොවීන් කාබනික පොහොර කෙරෙහි යොමු කිරීම
මෙහි අරමුණය. |
| රාජ්‍ය සේවක ජීවන
වියදම් දීමනාව වැඩිකිරීමට යෝජනා |
| නොවැ. 06 - රජයේ සේවකයින්ගේ ජීවන වියදම්
දීමනාව වැඩි කිරීමට 2009 වසර සඳහා වූ අයවැය යෝජනා තුළින් අද යෝජනා
කෙරිණ. මේ අනුව, රජයේ සේවකයින්ගේ ජීවන
වියදම් දීමනාව රු. 1000කින් වැඩි කිරීමට යෝජනා විය. |
| ඉන්ධන මිල අඩු කිරීමට
යෝජනා කෙරේ |
| නොවැ. 06 - ඉන්ධන මිල අඩු කිරීමට මෙවර අයවැයෙන්
යෝජනා කරන බව ජනාධිපතිවරයා පැවසීය. මේ
අනුව, ඩීසල් ලීටරයක් රු. 30කින් ද, භූමිතෙල් ලීටරයක් රු. 20කින්
ද, පෙට්‍රල් ලීටරයක් රු. 15කින් ද අඩු කිරීමට යෝජනා කෙරිණ. |
| 'මිහින් ලංකා' වෙනුවෙන්
රු. මිලියන 6000ක් |
| නොවැ. 06 - 'මිහින් ලංකා' ගුවන් සේවාව යළි
ස්ථාපනය කිරීම සඳහා රු. මිලියන 6000ක් වෙන් කිරීමට අයවැයෙන් යෝජනා
කෙරිණ. ජනාධිපතිවරයා පැවසුවේ, අභ්‍යන්තර
සහ ජාත්‍යන්තර ගුවන් සේවාව දියුණු කිරීම මෙහි අරමුණ බවය. |
| අඩු ආදායම් ලබන පවුල්වල
දරුවන් වෙනුවෙන් දීමනාවක් |
| නොවැ. 06 - අඩු ආදායම් ලබන පවුල්වල වයස අවුරුදු
1 සිට 5 දක්වා දරුවන් වෙනුවෙන් රු. 200ක මාසික දීමනාවක් ලබා දීමට
මෙවර අයවැයෙන් යෝජනා කෙරිණ. අයවැය යෝජනා
ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ, මෙම දීමනාව 2009 වසරේ
ජනවාරි මාසයේ සිට ලබා දෙන බවය. |
| යටත් නොවන ත්‍රස්තවාදීන්
දණ ගස්වනවා - ජනපති |
| නොවැ. 06 - අවසන් මොහොතේ හෝ අවි බිම තබා
යටත් නොවන ත්‍රස්තවාදීන් හමුදාමය බලය යොදා දණ ගැස්වීමට සිදුවන
බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා
මේ බව ප්‍රකාශ කළේ, අද පස්වරුවේ පාර්ලිමේන්තුව අමතා සිය අයවැය
කථාව ඉදිරිපත් කරමිනි.
අවි බිම තබා යටත් වන ලෙස ත්‍රස්තවාදීන්ගෙන් ඉල්ලා
සිටින බව ද ජනාධිවරයා මෙහිදී ප්‍රකාශ කළේය. |
| දෙමළ ජාතික සන්ධානයේ
මන්ත්‍රීවරු සභා ගැබෙන් ඉවත්ව යති |
| නොවැ. 06 - අයවැය ඉදිරිපත් කිරීමට පෙර දෙමළ
ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු සභා ගර්භයෙන් ඉවත්ව ගියහ.
ඒ, එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්
මහතා කළ ප්‍රකාශයකින් පසුවය. |