Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
   
බාහිර හා අභ්‍යන්තර ගැටලු නිසා ලංකාවේ ආර්ථිකයට අභියෝග

නොවැ. 20 - ජී. එස්. පී. ප්ලස් තීරු බදු සහන අහිමිවිමේ අවදානම ඇතුළු තත්ත්වය හේතුවෙන් ලෝක ආර්ථික අවපාතයේ බලපෑම්වලට මුහුණ දීම අභියෝගයක් වනු ඇතැයි එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන පෙන්වා දෙයි.

එහි නේවාසික නියෝජිත නීල් බුනේ මහතා මේ බව පෙන්වා දුන්නේ, කොළඹදී පසුගියදා පැවති සමාජ වගකීම ඉටුකිරීමේදී ආයතනික අංශයේ විශිෂ්ටතා උදෙසා වූ සම්මාන පිරිනැමීමේ උත්සවයකට සහභාගී වෙමිනි.

මෙම උත්සවය සංවිධානය කර තිබූයේ ලංකා වාණිජ මණ්ඩලයයි.

එහිදී නීල් බුනේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, දේශීය හා විදේශීය පීඩනයන් මගින් ඇතිවන බාහිර හා අභ්‍යන්තර ගැටලු හේතුවෙන් තිරසාර භාවය පිළිබඳ අභියෝගයන්ගෙන් ව්‍යාපාරික අංශය ආරක්ෂා කරගැනීම පහසු දෙයක් නොවන බවය.

ජී. එස්. පී. ප්ලස් තීරු බදු සහන අහිමිවිමේ අවදානම, අභ්‍යන්තර ගැටුම්කාරී තත්ත්වය හා ව්‍යාපාරික විශ්වාසනීයත්වයට අදාළ ගැටලු ශ්‍රී ලංකාව වැනි රටක් මෙවැනි පීඩනයන්ට ගොදුරුවීමේ අවදානම වැඩි කරන බවත් එම අභියෝගයන්ට මුහුණදීම සඳහා නව එළඹුමක් අවශ්‍යවන බවත් ඔහු තවදුරටත් පැවසීය.

එම සම්මාන ප්‍රදාන උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූයේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ

කොමසාරිස් ආචාර්ය පීටර් හේස් මහතාය.

බදු පරිපාලනයට නව නීති

නොවැ. 11 - ලබන වසරේ ඉලක්කගත බදු ආදායම එක් රැස් කිරීමට හැකි වන පරිදි අමතර බදු හා බදු පරිපාලනය සඳහා නව නීති මෙවර අයවැයෙන් යෝජනා කර ඇතැයි මහ භාණ්ඩගාර ලේකම් සුමිත් අබේසිංහ මහතා පැවසීය.

මේ අතර ඇතැම් බදු විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ බදුවල ශුද්ධ බලපෑම හේතුවෙන් ඒක පුද්ගල වාර්ෂික බදු බර රුපියල් 23,400 දක්වා ඉහළ යන බවය.

පසුගියදා අයවැය පිළිබඳ කොළඹදී පැවති සම්මන්ත්‍රණයකදී මේ කරුණු අනාවරණය විය.

මෙවර අයවැය යෝජනා, ආර්ථිකයේ විවිධ අංශවලට බලපාන ආකාරය පිළිබඳ අවධානය යොමුවූ මේ සම්මන්ත්‍රණයේදී මහ‌ා භාණ්ඩාගාර ලේකම් සුමිත් අබේසිංහ මහතා රාජ්‍ය ආදායම් ඉහළ නැංවීම සඳහා ගෙන ඇති පියවර පැහැදිලි කළේය.

සුමිත් අබේසිංහ මහතා පැවසුවේ, ලබන වසරේදී රජය භාණ්ඩ හා සේවා මත බදුවලින් රුපියල් බිලියන 464ක් ඉපයීමට අපේක්ෂා කරන බවය.

සම්මන්ත්‍රණයේදී අදහස් දැක්වූ බදු උපදේශක එන්.ආර්. ගජේන්ද්‍රන් මහතා පෙන්වා දුන්නේ වැට් බද්ද අඩු කළ ද ජනතාව මත පැටවෙන ශුද්ධ බදු ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවය.

වැට් බද්ද 3%කින් අඩු කළ ද 1%ක ජාතිය ගොඩ නැගීමේ බද්ද හා සෙස් බද්ද ඉහළ දැමීම නිසා මේ යෝජිත බදුවල සමස්ථ බලපෑම, පැවති වැට් බද්ද 2%කින් ඉහළ දැමීම හ‌ා සමාන බව ද ගජේන්ද්‍රන් මහතා පැවසීය.

රුපියල අධිප්‍රමාණය වීමේ පාඩුව

ඔක්. 31 - මෙරට අපනයනවල තරගකාරීත්වය නැවත ගොඩ ගැනීම සඳහා ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීමේ මහ බැංකු ප්‍රතිපත්තිය වෙනස් කළ යුතුව ඇතැයි
අර්ථශාස්ත්‍රඥයෝ පෙන්වා දෙ‌ති.

ලෝක ආර්ථික අවපාතය සමග ඇඟලුම්, තේ හා රබර් ඇතුළු මෙරට අපනයනික භාණ්ඩ සඳහා ජාත්‍යන්තර ඉල්ලුම මෑතකදී ශීඝ්‍රයෙන් අඩු විය.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වඩා නම්‍යශීලීව තීරණය වීමට ඉඩ හැරි බව අද නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.

ලෝක ආර්ථික අවපාතයට සමගාමීව බොහෝ රටවල මුදල් ඒකක අවප්‍රමාණය වූ අතර ශ්‍රී ලංකා
රුපියල අධිප්‍රමාණයට ලක්වීම විශේෂත්වයකි.

මහ බැංකුව පසුගිය කාලයේ තර්ක කළේ, රුපියල අවප්‍රමාණය වීමට ඉඩදීම හේතුවෙන් විදේශ ණය ආපසු ගෙවීම ඉහළ යන බවය.

කෙසේ වෙතත් බොහෝ විදේශ මුදල් ඒකකයන්ට සාපේක්ෂව රුපියල අධිප්‍රමාණය වීම හේතුවෙන් එතෙර පාරිභෝගිකයින්ට ශ්‍රී ලංකා අපනයන භාණ්ඩ වඩාත් මිල අධික ඒවා බවට පත්ව තිබේ.

බොර තෙල් මිල තවදුරටත් පහළට

ඔක්. 30 - ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ඊයේ තවදුරටත් පහළ ගියේය.

ඔපෙක් සාමාජික රටවල් අලෙවි කරන බොර තෙල් මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 55.90ක් ලෙසය.

ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිවේදනය කළේ බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක් ද අමෙරිකානු ඩොලර් 60.13ක් දක්වා පහළ ගොස් ඇති බවය.

මේ අතර පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් ඇතුළු නිමි නිෂ්පාදනවල මිල ද පහළ ගොස් තිබේ.

සිංගප්පූරු නිමි නිෂ්පාදන වෙළෙඳපොළේ පෙට්‍රල් බැරලයක් ඊයේ අලෙවි වූයේ ඩොලර් 61.70කට ය.

ඩීසල් බැරලයක මිල ඩොලර් 72.05ක් වූ අතර භූමිතෙල් බැරලයක මිල ඩොලර් 77.25ක් ලෙස සටහන් වී තිබිණ.

තේ මණ්ඩලය තේ මිලදී ගනී

ඔක්. 29 - මිල ස්ථාවර කිරීමේ අරමුණින් කොළඹ වෙන්දේසියේදී තේ මිලදී ගැනීමට ශ්‍රී ලංකා තේ මණ'ඩලය ඊයේ ඉදිරිපත් විය.

තේ කිලෝ ග්‍රෑම් එකක සාමාන්‍ය මිල රුපියල් 270ක් හෝ ඊට ඉහළ මට්ටමක ස්ථාවර කිරීම තේ මණ්ඩලයේ අපේක්ෂාවය.

පසුගිය සති කිහිපය තුළදී පහත රට තේ සඳහා ජාත්‍යන්තර ඉල්ලුම ශීඝ්‍රයෙන් පහළ ගිය අතර කොළඹ තේ වෙන්දේසියේ සාමාන්‍ය තේ මිල රුපියල් 242 දක්වා පහළ ගොස් තිබිණ.

දිගින් දිගට ම පහතරට තේ සඳහා වූ ජාත්‍යන්තර ඉල්ලුම පහළ යාමට අනුරූපීව කොළඹ වෙන්දේසියේදී එම වර්ගයේ තේ මිල පහළ ගිය අතර සුවිශේෂී තත්ත්වයක් වූයේ වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන තේ තොගවලින් 50%කට ආසන්න ප්‍රමාණයක් අලෙවි නොවීමය.

ඒ තත්ත්වයෙන් දැඩි බලපෑමක් එල්ල වූයේ, තේ කර්මාන්ත ශාලා හිමිකරුවන්ට හා පහත රට තේ සැපයුමෙන් 75%කට දායකත්වය සපයන කුඩා තේ වතු අංශයේ ගොවීන්ට ය.

තේ කර්මාන්ත අංශය මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වයෙන් මිදීම සඳහා රජය සහ අනෙකුත් පාර්ශව මේ වන විට සාකච්ඡා අරඹා ඇති අතර ශ්‍රී ලංකා තේ මණඩලය ඊයේ කොළඹ වෙන්දේසියෙන් තේ මිලදී ගැනීමට ඉදිරිපත්වී සිටියේ මිල ස්ථාවර කිරීමේ ආරම්භක පියවරක් වශයෙනි.

තේ මණ්ඩලය පැවසුවේ, වෙන්දේසියෙන් තේ මිලදී ගැනීම සඳහා සතියකට රුපියල් මිලියන 250 බැගින් වෙන් කර ඇති බවය.

කුඩා තේ වතු හිමියාට කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 40ක හෝ ඊට වැඩි මිලක් සහතික කිරීම මණ්ඩලය තේ වෙන්දේසියට මැදිහත් වීමේ තවත් ඉලක්කයක් වී ඇත.

ඉරානයෙන් ඩොලර් බිලියනයක ඛණිජ තෙල්

ඔක්. 28 - ඉදිරි මාස තුන තුළදී අමෙරිකානු ඩොලර් බිලියනයක් වටිනා ඛණිජ තෙල්, සහන පොළී සහිත ණය පදනමක් මත ආනයනය කිරීම සඳහා ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉරානය සමග නව ගිවිසුමකට එළඹිණ.

සංස්ථාව පෙන්වා දෙන්නේ, මේ ගිවිසුම යටතේ ආනයනය කරන ඉන්ධනවලට අදාළ ගෙවීම් කළ යුතු වන්නේ, මාස තුනකින් පසුව බවය.

මෙසේ ණය පහසුකම් යටතේ තෙල් ආනයනය කිරීම හේතුවෙන් ඇතැම් රජයේ ආයතන දීර්ඝ කාලීනව ගෙවීම් පැහැර හැර ඇති ණය මගින් එල්ල වී ඇති අයහපත් මූල්‍ය බලපෑම සමනය කළ හැකි බව ද ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පෙන්වා දුන්නේය.

මේ අතර පසුගිය මාස 17ක කාලය තුළ වාර්තා වූ පහළ ම මිල වාර්තා කරමින් බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 59 - 61ක් අතර මට්ටමක් දක්වා ඊයේ පහළ ගියේය.

ඊයේ අමෙරිකානු වෙළෙඳ පොළේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 61.80ක් දක්වා පහළ ගිය අතර ලන්ඩන් වෙළෙඳ පොළේ බොර තෙල් බැරලයක මිල සටහන් වූයේ, ඩොලර් 59.85ක් වශයෙනි.

මේ අතර සිංගප්පූරු නිමි නිෂ්පාදන වෙළෙඳ පොළේ පෙට්‍රල් බැරලයක මිල පසුගිය සිකුරාදා වන විට ඩොලර් 65ක් දක්වා පහළ ගියේය.

ඒ අනුව සිංගප්පූරු තොග වෙළෙඳ පොළේ පෙට්‍රල් ලීටරයක මිල ශ්‍රී ලංකා රුපියල් 48කි.

එම වෙළෙඳපොළේ ඩීසල් ලීටරයක ශ්‍රී ලංකා රුපියල් 52ක් වූ අතර භූමිතෙල් ලීටරයක මිල රුපියල් 58ක් දක්වා වූ අගයකට පහළ වැටී තිබිණ.

තේවල ගුණාත්මක බව පහළට

ඔක් . 23 - පොහොර ඇතුළු යෙදවුම් පිරිවැය ඉහළ යෑම මෙන්ම සහනාධාර යටතේ බෙදාහරින පොහොරවල බාල ප්‍රමිතිය හේතුවෙන් ද මෙරට තේවල ගුණාත්මකභාවය පහළ යමින් පවතින බව කුඩා තේ වතු හිමියන්ගේ ඒකාබද්ධ සම්මේලනය පැවසීය.

මෙරට වාර්ෂික තේ නිෂ්පාදනයන් 65% ක දායකත්වයක් සපයන්නේ කුඩා තේ වතු අංශය ය.කුඩා තේ වතු හිමියන්ගේ ඒකාබද්ධ සම්මේලනයට අනුව ලක්ෂ 5කට ආසන්න කුඩා තේ වතු හිමියන් සංඛ්‍යාවක් දැනට තේ වගාවේ නිරත වේ.

මේ වන විට තේ දලු අස්වනු අලෙවි කර ගැනීමේ ගැටළුවකට බොහෝ කුඩා තේ වතු හිමියන් මුහුණ දී ඇතැයි එම සම්මේලනය පසුගියදා කොළඹ පැවති පැවැත්වූ මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේය.

ඔවුන් ප්‍රකාශ කළේ, ඊට ප්‍රබල ලෙස බලපා ඇත්තේ වගා ප්‍රමිතිය පහළ යාම බව ය.

2005 වසරේදී කිලෝ ග්‍රෑම් මිලියන 317.2ක් වූ මෙරට තේ නිෂපාදනය 2007 වන විට කිලෝ ග්‍රෑම් මිලියන 205 දක්වා පහළ ගොස් ඇති බව කුඩා තේ වතු හිමියන්ගේ ඒකාබද්ධ සම්මේලනය එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

අපනයනය කෙරෙන සෑම තේ කිලෝ ග්‍රෑම් එකක් මත අය කෙරෙන රුපියල් 4කට ආසන්න බද්දෙන් සැදුම් ලත් අරමුදල ද නිසි පරිදි තේ කර්මාන්තයෙහි ප්‍රවර්ධනයට යොදා නොගැනෙන බවට එම සම්මේලනය චෝදනා කළේය.

කොටස් මිල දර්ශකය පහළට

ඔක්. 22- අද කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23.15 කින් පහළ ගියේය.

ඒ අනුව, එම අගය දැක්වුණේ ඒකක 1900.57 ක් ලෙසය.

මිලංකා මිල දර්ශකය ද ඒකක 28.93කින් පහළ ගිය අතර එහි අගය ඒකක 2127.17ක් ලෙස දැක්විණි.

කොළඹ කොටස් වෙළදපොළ දෛනික පිරිවැටුම සටහන් වූයේ රුපියල් මිලියන 344.5 ක් ලෙසය.

වෙළෙදපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 620.3 ක් ලෙස සටහන් විය.

සුළං මගින් විදුලි බලය

ඔක්. 22 - ශ්‍රී ලංකාවේ සුළං සහිත ප්‍රදේවලින් මෙගා වොට් 20,000ක විදුලි බලය ජනනය කළ හැකි බව මෙරට අමෙරිකානු තානාපති රොබට් බ්ලෙක් මහතා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව පැවසුවේ, ඊයේ කොළඹදී පැවති ව්‍යාපාරික නායකයින්ගේ සමුළුවකදීය.

අමෙරිකානු වාණිජ මණ්ඩලය හා ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනය විසින් එම සමුළුව සංවිධානය කරන ලදී.

"පාරිසරික හා ආර්ථික තිරසරභාවය" යන්න තේමාව කර ගත් ව්‍යාපාරික නායක සමුළුවේදී අවධාරණය කෙරුණේ, ව්‍යාපාරික තිරසා බව උදෙසා ආයතනික ක්‍රමෝපාය වෙනස් විය යුතු බවය.

පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයන් භාවිතයේදී සුළං බල ශක්තිය ජනනය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවක් උචිතයැයි නව අධ්‍යයනයකින් හෙළවී ඇති බව අමෙරිකානු තානාපති රොබට් බ්ලෙක් මහතා එම සමුළුව අමතමින් පැවසුවේය.

අමෙරිකානු තානාපතිවරයා ප්‍රකාශ කළේ, මෙරට නිපදවිය හැකි සුළං බල ශක්ති ප්‍රමාණය ශ්‍රී ලංකාව පසුගිය වසරේදී ජනනය කළ සමස්ත විදුලි බල ප්‍රමාණයට වඩා අට ගුණයකින් වැඩි බවය.

එහෙත් මේ වන විට ශ්‍රී ලංකාවේ ජාතික විදුලි පද්ධතියට දායක වන සුළං බලාගාර ඇත්තේ එකක් පමණක් බවත් ඉන් නිපදවන විදුලි බල ප්‍රමාණය මෙගා වොට් තුනක් තරම් අඩු බවත් රොබට් බ්ලෙක් මහතා පැවසීය.

"ජී.එස්.පී. ප්ලස්" අහිමි වෙයිද?

ඔක්. 21 - ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහන දීර්ඝ කිරීමට අදාළ කොන්දේසි සපුරාලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වය විමර්ශනය කිරීමට යුරෝපා සංගමය තීරණය කර ඇතැයි ජාත්‍යන්තර වෙළෙඳාම හා අපනයන සංවර්ධනය පිළිබඳ අමාත්‍යංශය පවසයි.

කෙසේ වෙතත් ජාත්‍යන්තර වෙළෙඳාම හා අපනයන සංවර්ධන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ කොළඹදී ප්‍රකාශ කළේ, එවැනි විමර්ශනයකට ඉඩ දිය නොහැකි බවය.

යුරෝපා සංගමය විසින් ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහන නැවත ලබාදීම අවිනිශ්චිත බව ඒකාබද්ධ ඇඟළුම් සංසදය ඇතුළු පාර්ශව ගණනාවක් මේ වන විටත් පෙන්වා දී තිබේ.

ඇඟළුම් ඇතුළු මෙරට නිෂ්පාදන 7200කට තීරු බදු රහිතව යුරෝපයේ රටවල් 27ක වෙළෙඳපොළට පිවිසීමට ඉඩ දෙමින් ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහන ක්‍රියාවට නැගුණේ, 2005 වසරේදී ය.

එහි මුල් අදියරේදී වසර තුනක කාලයක් සඳහා මේ සහන ලබා දුන්නේය.

එය මේ වසරින් පසුව දීර්ඝ කිරීම රඳා පවතිනුයේ මානව හා කම්කරු අයිතීන් ආරක්ෂා කිරීමට අදාළව ශ්‍රී ලංකාව ද අත්සන් තබා ඇති ජාත්‍යන්තර සම්මුති 27කට එකඟව ක්‍රියාත්මක වීමට රජය හා අනෙකුත් පාර්ශව ගත් ක්‍රියාමාර්ගවල සාර්ථකත්වය මතය.

මානව හා කම්කරු අයිතීන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳව මේ වන විට විවේචන එල්ල වී ඇති අතර ඒ හේතුවෙන් ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහන දීර්ඝ කිරීම අවිනිශ්චිත බව විවිධ පාර්ශව පසුගිය කාලයේදී අනතුරු අඟවා තිබිණි.

කෙසේ වෙතත් සහන නැවත ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඉල්ලුම් කර ඇති අතර අදාළ කොන්දේසි සපුරාලීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයන්ට ඉඩදිය නොහැකි බව රජයේ ස්ථාවරය වී තිබේ.

පසුගිය වසරේදී ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහන යටතේ යුරෝපා රටවලට ඇඟළුම් අපනයනය කිරීමෙන් ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 1448ක් ඉපයූ අතර මේ වසරේ මුල් මාස අටේදී ඉපයූ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 867කි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ කොළඹ දී ප්‍රකාශ කළේ, ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහන අහිමිවීමෙන් සිදුවන බලපෑම සමනය කිරීම සඳහා සහනාධාර ක්‍රමයක් ක්‍රියාවට නැගිය හැකි බවය.

'මිහින් ලංකා' යළි ගුවනට

ඔක්. 16 - ලබන දෙසැම්බර් මාසයේ සිට තම ගුවන් සේවා යළි ආරම්භ කරන බව මිහින් ලංකා සමාගමේ නව සභාපති රාජා එදිරිසූරිය මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, සිය ධූරයේ වැඩ ආරම්භ කිරීමට සමගාමීව කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී පැවති ආගමික වතාවත්වලින් අනතුරුව උත්සව සභාව අමතමිනි.

රජයේ බජට් ගුවන් සේවාව ලෙස ආරම්භ කළ මිහින් ලංකා ගුවන් සමාගම ප්‍රථම වර්ෂයේදී ලැබූ පාඩුව රුපියල් බිලියන 1.9 කි.

අනතුරුව, මිහින් ගුවන් ගමන් සේවා පසුගිය අප්‍රේල් මාසයේ සිට අත්හිටවනු ලැබීය.

මීට මාස කිහිපයකට ඉහතදී මිහින් ගුවන් සේවාව මුහුණදී ඇති තත්ත්වය හා එහි මූල්‍ය කාර්යසාධනය පිළිබඳ මහජනතාවට කරුණු හෙලි කරමින් සිටි ප්‍රධාන විධායක නිලධාරී සජින් වාස් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ, පසුගිය ජූලි මාසයේ සිට නැවත ගුවන් සේවා අරඹන බවය.

කෙසේ වෙතත්, මිහින් ගුවන් ගමන් සේවා නැවත ආරම්භ කෙරෙන්නේ මේ වසර අවසානයේදී බව සිය නව කළමනාකරන සැලසුම් පිළිබඳ විස්තර කරමින් මිහින් ලංකා සමාගමේ අභිනව සභාපති රාජා එදිරිසූරිය මහතා පෙන්වා දුන්නේය.

දේශීය ඉන්ධන මිලට 'බාල ගිරි දෝසේ'

ඔක්. 09 - දේශීය ඉන්ධන මිල පහත දැමීමට පෙර තව දුරටත් ලෝක වෙළෙඳ පොළේ මිල හැසිරීම නිරීක්ෂණය කළ යුතු බව ඛනිජ තෙල් අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා පැවසීය.

මේ අතර ඊයේ ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ, ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 81ක් දක්වා පහළ ගොස් ඇති බවය.

පසුගිය ජූනි මාසයේදී ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් මිල මෙතෙක් වාර්තා වූ ඉහළම අගය සටහන් කරමින් අමෙරිකානු ඩොලර් 147 දක්වා ඉහළ ගියේය.

කෙසේ වුවද පසුගිය මාසයේ සිට පහළ ගිය ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ඊයේ වනවිට 45%කින් අඩුවී තිබේ.

මේ අතර ලෝක වෙළෙඳ පොළ මිල පහළ යාමට සමගාමීව දේශීය මිල පහළ දමනු වෙනුවට රජය සැප්තැම්බර් මාසයේදී පෙට්‍රල් ලීටරයක් මත අය කරන සමස්ත බදු ප්‍රමාණය රුපියල් 70ක් දක්වා ඉහළ දැමීය.

විපක්ෂය වරින් වර රජයට පෙන්වා දුන්නේ, වත්මන් ලෝක වෙළෙඳ පොළ මිල පහළ යාමේ වාසිය මෙරට ජනතාවට ලබා දිය යුතු බවය.

පසුගියදා පාර්ලිමේන්තුවේදී ද මේ පිළිබඳ වාද විවාද හට ගත්තේය.

එහිදී අදහස් දැක්වූ රවි කරුණානායක මහතා පැවසුවේ, වත්මන් ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල රුපියල් 99ක් දක්වා පහළ දැමිය හැකි බවය.

මෙහිදී ඛනිජ තෙල් අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා ප්‍රකාශ කළේ, ලෝක වෙළඳ පොළේ මිල ඉහළ යාමට අනුව කඩිනමින් මිල ඉහළ නොදැමීම හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් බිලියන 11ක පාඩුවක් විඳීමට සිදුවූ බවය.

ඊයේ මහරගම පැවති උත්සවයකදී ද අමාත්‍යවරයා අවධාරණය කළේ, කඩිනමින් තෙල් මිල පහළ දැමීමක් කළ නොහැකි බවය.

ශ්‍රී ලංකාවේ ආර්ථික කළමනාකරණය පිරිහිලා - ලෝක බැංකුව

ඔක්. 08 - අදාළ දර්ශකවලට අනුව පසුගිය වසර දෙක තුළදී මෙරට රාජ්‍ය අංශය සහ ආර්ථික කළමනාකරණය පිරිහී ඇතැයි ලෝක බැංකුව පෙන්වා දී තිබේ.

එම බැංකුව නිකුත් කළ ශ්‍රී ලංකාව සඳහා රාජ්‍ය ආධාරක ක්‍රමෝපාය වාර්තාවේ දැක්වෙන්නේ, 2006 වසරේදී 3.6ක්ව පැවති රාජ්‍ය ප්‍රතිපත්ති හා ආයතනික තක්සේරු අගය 3.5ක් දක්වා පහළ ගොස් ඇති බවය.

වසර 2009 සිට 2012 දක්වා වූ කාලය සඳහා ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ආධාර සැපයීමේ ක්‍රමෝපායසම්බන්ධයෙන් පසුගියදා කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම කරුණු ප්‍රකාශ කෙරිණ.

වත්මන් තත්ත්වයෙහි ප්‍රගතිය හෝ පසුබෑම යන අවස්ථා දෙකෙහිදී ම දැනට සපයන ආධාර හා අදාළ ක්‍රමෝපාය පිළිබඳ නැවත සලකා බැලීම කළ හැකි බව එම වාර්තාවේ දැක්වේ.

ලෝක බැංකුව පෙන්වා දෙන්නේ, ගැටලුකාරී තත්ත්වය තව දුරටත් උග්‍රවීම මෙන් ම නීතිය හා යහ පාලනයේ පසුබෑම ආදී කරුණු මත පදනම්ව අලුතින් ණය දීම හෝ දැනට ක්‍රියාත්මක ආධාර ව්‍යාපෘති අත්හිටුවීමට ද තමන්ට සිදුවනු ඇති බවය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආයෝජන පරිසරය ද තරගකාරී නොවන බව මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අවධාරණය කෙරිණ.

මෙහිදී අදහස් දැක්වූ ලෝක බැංකු ශ්‍රී ලංකා කාර්යාලයේ නේවාසික අධ්‍යක්ෂ නඔකො ඉෂි මහත්මිය පැවසුවේ‍, වසරකට අමෙරිකානු ඩොලර් මිලියන 200ක් බැගින් වූ ණය ආධාරයක් ශ්‍රී ලංකාවට ලැබෙන බවය.

නමුත් ව්‍යාපෘති සැකසීම හා ක්‍රියාත්මක කිරීමේ වේගය මත මෙන් ම අභ්‍යන්තර අර්බුදයේ තත්ත්වයත්, අවදානම පිළිබඳ අනෙකුත් සාධකවල තත්ත්වයත් මෙම ආධාර ලබාදීමේදී බලපාන බව නඔකො ඉෂි මහත්මිය ප්‍රකාශ කළාය.

සමාගම් අපරාධයකදී සියලු අධ්‍යක්ෂකවරු වගකිව යුතුයි

ඔක්. 08 - සමාගම් ආශ්‍රිත අපරාධයක් සම්බන්ධයෙන් වගකීම යන්නෙන් අදහස් වන්නේ සමස්ත ආයතනික වගකීම බව නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ප්‍රකාශ කළේය.

නව සමාගම් පණත යටතේ සමාගම් ආශ්‍රිත අපරාධවල වගකීම යන මැයෙන් පසුගියදා කොළඹදී පැවැති සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව පැවසීය.

මෙය සංවිධානය කළේ, නව නීති යටතේ සමාගම් ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ ආයතනික අංශය දැනුවත් කිරීමේ අරමුණින් ය.

ඉන්ද්‍රතිස්ස මහතා මෙහිදී පැවසුවේ, සමාගමක් වරදක් කළ විට ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි බවය.

ඔවුන් වරදකරුවන් බවට ඔප්පු වුවහොත් සමාගමේ සියලු අධ්‍යක්ෂකවරු ඊට වගකිව යුතු බව ද ඉන් නිදහස් විය හැක්කේ අදාළ තීරණයට සහභාගි නොවූ හා ඒ පිළිබඳ නොදන්නා සාමාජිකයන්ට පමණක් බව ද නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා වැඩිදුරටත් පැවසීය.

සංවර්ධනය සඳහා මානව සම්පත් කළමනාකරණය

ඔක්. 02 - සංවර්ධනය කරා ළඟා කර ගැනීමට නම් මානව සම්පත් කළමනාකරණ ප්‍රතිපත්තියක් අවශ්‍ය බව කොළඹ සැලසුම හෙවත් ආසියා හා ශාන්තිකර රටවල සමාජ සංවර්ධනය සහ ආර්ථික සහයෝගිතාවය සඳහා වූ සංවිධානය පෙන්වා දෙයි.

මීට වසර 50කට පෙර මෙරට ට පසුපසින් සිටි සිංගප්පූරුව සංවර්ධනය ළඟාකර ගත්තේ ද විශිෂ්ඨ මානව සම්පත් කළමනාකරණ වැඩපිළිවෙළක් හරහා ය.

මීට අඩසියවසකට පෙර සිංගප්පූරුවට අවශ්‍ය වූයේ ශ්‍රී ලංකාව මෙන් ඉහළ රාජ්‍ය සේවයක් සහිත රටක් බවට පත්වීමටය.

එහෙත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයට දූෂණ චෝදනා එල්ල වෙද්දී, සිංගප්පූරුව තමන්ටම ආවේණික ක්‍රමවේදයක් හරහා විශිෂ්ට රාජ්‍ය සේවයකට එක්කර ගත්තේ කුසලතා මත ප්‍රතිලාභ දෙන ජාතික මානව සම්පත් කළමනාකරණ ප්‍රතිපත්තියක් හඳුන්වා දෙමිනි.

1951 දී පිහිටවූ සාමාජිකයන් 25 දෙනෙකුගෙන් සැදුම්ලත් කොළඔ සැලසුම පැවැත්වූ මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ, සිංගප්පූරුවේ විශිෂ්ට මානව සම්පත් කළමනාකරණ ක්‍රමවේදය සිය සාමාජික රටවල ද ක්‍රියාත්මක වනු දැකීම තම අරමුණක් බව ය.

එහිදී අදහස් දැක්වූ කොළඔ සැලසුමෙහි මහ ලේකම් පැට්ට්‍රීෂීයා යන්මෝයි පැවසුවේ, සිංගප්පූරුවේ රාජ්‍ය සේවකයන්ට පෞද්ගලික අංශයේ ගෙවන වැටුප්වලට වඩා ඉහළ වැටුපක් ගෙවන බවය. සිංගප්පූරුව ළඟා කර ගත් සංවර්ධනයේ රහස එරට රාජ්‍ය සේවය සඳහා විශිෂ්ටයන් බඳවා ගැනීම බව ද ඇය ප්‍රකාශ කළාය.

මීට වසර 50කට පෙර ශ්‍රී ලංකාව හිටියේ සිංගප්පූරුවට වඩා ඉදිරියෙන් බවත් සිංගප්පූරුව එතැන සිට අද තත්ත්වයට පැමිණියේ නිසි මානව සම්පත් කළමනාකරණය හරහා බව පැට්ට්‍රීෂීයා යන්මෝයි මහත්මිය වැඩිදුරවත් පැවසුවාය.

මේ අතර මානව සම්පත් කළමනාකරණ විශේෂඥයින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තවමත් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ගොඩනගා නොමැති බවය.

මෙරට මානව සම්පත් කළමනාකරණ තත්ත්වය පිළිබඳ අදහස් දැක්වූ පිරිස් කළමනාකරණ ආයතනයේ සාමාජික සී. හේවාපත්තිනි මහතා ප්‍රකාශ කළේ, මෙරට ට මානව සම්පත් කළමනාකරණ සැලැස්මක් නොමැති බවය.

සේවකයින්ට කුසලතා මත ප්‍රතිලාභ දෙන මානව සම්පත් කළමනාකරණ ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවේ නොමැති බව සහ තම සේවකයන්ට පහත් ලෙස සලකන බව‌ට අප පවසන මැදපෙරදිග රටවල පවා සත්‍ය වශයෙන් එවැනි තත්ත්වයක් නොමැති බව හේවාපත්තිනි මහතා පෙන්වා දුන්නේය.

ඊට හොඳම නිදසුන ලෙස ඔහු ගෙන දැක්වූයේ, මෑතකදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රියාවට නැංවූ සේවක කුසලතා මත ප්‍රතිලාභ දෙන ජාතික මානව සම්පත් කළමනාකරණ ප්‍රතිපත්තිය ය.

මෙලෙස ලොව රටවල් ඉතා වේගයෙන් මානව සම්පත් කළමනාකරණ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන බවත් ශ්‍රී ලංකාව තවමත් ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව උස්ස්වීම් හා ප්‍රතිලාභ දෙන පෞරාණික මානව සම්පත් ප්‍රතිපත්ති මත සිරවී සිටින බවත් හේවාපත්තිනි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අමෙරිකානු ආර්ථිකයේ කඩා වැටීම හා ලෝක ආර්ථිකය

ඔක්. 01- අමෙරිකානු මූල්‍ය වෙළෙඳපොළ කඩා වැටීම හා ලෝක ආර්ථික වර්ධනයේ පසුබෑම හේතුවෙන් ඉන්ධන මිල තවදුරටත් පහළ යා හැකි බවට වෙළෙඳපොළ විශ්ලේෂකයෝ අනාවැකි පළ කරති.

අමෙරිකාවේ බංකොළොත් වූ බැංකුවලට නැවත ප්‍රාග්ධනය සැපයීම සඳහා ජනපති ජෝජ් ඩබ්ලිව්. බුෂ් යෝජනා කළ ඩොලර් බිලියන 700ක මුදල නිදහස් කිරීමට එරට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය නොලැබීම මෙම තත්ත්වය වඩාත් තීව්‍ර කළේය.

මේ අතර ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති අසන්ත ද මෙල් මහතා පෙන්වා දෙන්නේ, රජය අයවැය යෝජනාවක් ලෙස ක්‍රියාත්මක කළ හොත් මිස නොවැම්බර් මාසයට පෙර ඉන්ධන මිල පහළ දැමීමක් සිදු නොවන බවය.

වත්මන් ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් මිල අඩුවීමේ වාසිය තමන් වසරේ මුල් මාස අට තුළදී ලැබූ රුපියල් බිලියන 23ක අලාභය පියවා ගැනීමට අවස්ථාවක් කරගෙන ඇතැයි අසන්ත ද මෙල් මහතා ප්‍රකාශ කළේය.

එහෙත් වෙළෙඳ පොළ විශ්ලේෂිකා වරුණි ද සිල්වා මහත්මිය ප්‍රකාශ කළේ, මෙලෙස කඩා වැටුණු මූල්‍ය වෙළෙඳ පොළ ක්ෂණිකව යථා තත්ත්වයට පත් නොවන්නේ නම් එය ඉදිරි ලෝක ආර්ථික වර්ධනය අඩාළ වීමට ද හේතු වන බවය.

එහෙත් එවැනි තත්ත්වයක් ශ්‍රී ලංකාවට වාසිදායක විය හැකි බව ද ඇය පැවසීය.

මිහින් ලංකා බිඳ වැටුණේ වැරදි කළමනාකරණ‌ෙයන් - රජය

සැප්. 24 - මිහින් ලංකා ගුවන් සේවය බිඳ වැටුණේ වැරදි කළමනාකරණය හේතුවෙන් බව රජය ඊයේ පාර්ලිමේන්තුවේ දී පිළිගත්තේය.

2007 අප්‍රේල් මාසයේ සිට වසරක කාලයක් සඳහා පමණක් ක්‍රියාත්මකවූ රජයේ මෙම බජට් ගුවන් සේවය එම කාලය සඳහා පමණක් සිදුකළ පාඩුව රුපියල් කෝටි 180ක් හෙවත් බිලියන 1.8කි.

විපක්ෂය ඊයේ චෝදනා කළේ, මෙසේ මහජන මුදල් නාස්ති කිරීම පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය හෑල්ලුවට ලක්කිරීමක් බවය.

රජය මිහින් ලංකා ගුවන් සේවය ආරම්භ කළේ රුපියල් කෝටි 203ක් හෙවත් බිලියන 2ක් වැය කරමින් වසරක කාලයක් සඳහා කල්බදු ක්‍රමයට ලබා ගත් ගුවන් යානා දෙකක් සේවයට යොදවමිණි.

ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මෙන්ම ගුවන් සේවයේ ඉහළ කළමනාකරණයට හා සෙසු නිලධාරීන්ට ආකර්ෂණීය වැටුප් ද ගෙවීම සඳහා රුපියල් බිලියන 1.65ක ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් හා රාජ්‍ය බැංකු දෙකකින් ලබා ගෙන තිබුණි.

මාසිකව රුපියල් මිලියන 100කට ආසන්න පාඩුවක් ලබමින් මෙහෙයවූ මෙම ගුවන් සේවය සිය ප්‍රථම වර්ෂය ඉකුත්වීමත් සමග ම සිය මෙහෙයුම් කටයුතු පසුගිය අප්‍රේල් මාසයේදී තාවකාලිකව නතර කළේය.

කෙසේවෙතත් පසුගිය ජූලි මාසයේදී නැවත ගුවන් ගමන් අරඹන බවත් මිහින් ලංකා ගුවන් සේවයේ ගනු‌දෙනුවලට අදාළ විගණනය කළ ගිණුම් හැකි ඉක්මණින් ප්‍රකාශයට පත් කරන බවත් හිටපු විධායක නිලධාරී සජින් වාස් ගුණවර්ධන මහතා එහිදී ප්‍රකාශ කළේය.

මේ අතර මීළඟ අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කර චීනයෙන් ගුවන් යානා 6ක් මිලදී ගැනීමට රජය තීරණය කර ඇතැයි සිවිල් ගුවන් සේවා අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

උ.පෙ. සමත්වන සියල්ලන්ට සරසවි වරම් දිය යුතුයි - රොබට් බ්ලෙක්

සැප්. 19 - උසස් පෙළ සමත්වන සියලු සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරීමට ඉඩ ප්‍රස්ථාව ලබා දිය යුතු බව මෙරට අමෙරිකානු තානාපති රොබට් බ්ලෙක් මහතා පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, දැනට රජයේ විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නේ සීමිත පිරිසක් බැවින් පෞද්ගලික අංශයට ද විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට ඉඩ දීම හරහා උසස් අධ්‍යාපනයේ තරගකාරීත්වයක් ඇති කළ හැකි බවය.

ආයතනික විශිෂ්ටත්වය සඳහා වූ අමෙරිකානු සම්මානය සඳහා තේරී පත්වී ඇති අවසන් ආයතන 11 අතරට මෙරට ක්‍රියාත්මක "වර්චූසා" ආයතනය ද ලැයිස්තු ගතවී ඇතැයි මෙරට අමෙරිකානු තානාපති රොබට් බ්ලෙක් මහතා අනාවරණ කළේය.

ඔහු පෙන්වා දුන්නේ තොරතුරු තාක්ෂණය වැනි ක්ෂේත්‍රයන්හි සුවිශේෂී දක්ෂතා දැක්වීමට හැකි ශ්‍රී ලාංකික සිසුන්ට සරසවි අධ්‍යාපනය සඳහා ප්‍රමාණවත් අවස්ථා තිබිය යුතු බවය.

විශේෂ නියෝජිතයෙකු සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී අමෙරිකානු තානාපතිවරයා එසේ සිය අදහස් පළ කළේය. එම සාකච්ඡාව සඳහා වර්චූසා ආයතනයේ ආසියානු මෙහෙයුම් අංශයේ කළමණාකාර අධ්‍යක්ෂ කීත් මොඩර් මහතා ද සහභාගි විය.

එහිදී අදහස් දැක්වූ තානාපති රොබට් බ්ලෙක් මහතා මෙසේ ද පැවසීය.

"අමෙරිකාවට සාපේක්ෂව සරසවි අධ්‍යාපනය සඳහා ලංකාවේ ප්‍රමාණවත් ඉඩ ප්‍රස්ථා නැහැ. ඇත්තෙන්ම ලංකාවේ විශ්වවිද්‍යාල විශිෂ්ට ඒවා. එහෙත් උසස් පෙළ සමත් වන සියලුම සිසුන්ට සරසවියට ඇතුල්වෙන්න අවස්ථාවක් නැහැ. ඒ සරසවිවලට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව සීමා සහිතවීම ඊට හේතුවයි. එම සරසවිවල ධාරිතාව ඉහළ දැමීමට ඇති හොඳම මග නම් පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රියාත්මකවීමට ඉඩ දීමයි. එමගින් තොරතුරු තාක්ෂණය වැනි විෂය ක්ෂේත්‍රවලින් උපාධි ලබා ගැනීමට බොහෝ ශ්‍රී ලාංකිකයන්ට ඉඩ කඩ විවර වන බව කිව යුතුයි."

ජී. එස්. පී. ප්ලස් බදු සහනය නොලැබෙයි ද?
සැප්. 17 - මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් මෙරටට බලපෑම් කිරිම සඳහා ආර්ථික මෙවලම් යොදා ගැනීම පිළිබඳව බටහිර රටවල අවධානය යොමුව ඇතැයි බ්‍රිතාන්‍යයේ විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබඳ ප්‍රධානී අමාත්‍ය ශ්‍රීමත් මැලොක් බ්‍රවුන් මහතා පවසයි.

බී.බී.සී. ලෝක සේවය සඳහන් කළේ, ලන්ඩන් නුවර පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළ බවය.

මෙරටට බලපෑම් කිරීමේ මෙවලමක් ලෙස ඇඟළුම් අපනයනය සඳහා ලබා දෙන ජී.එස්.පී. ප්ලස් බදු සහනය යොදා ගැනීම කෙරෙහි යුරෝපා සංගමයේ සහ බ්‍රිතාන්‍ය සලකා බලමින් සිටින බව ඔහු පැවසීය.

ඉදිරි වසර තුන සඳහා ජී.එස්.පී. ප්ලස් බදු සහනය ලබා දීමට නම්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රමීතින්ට අනුකූලව මානව හිමිකම් ආරක්ෂා කිරීමට පියවර ගත යුතු බව බ්‍රවුන් මහතා වැඩිදුරටත් පවසා තිබේ.

කෙසේ වෙතත්, මෙමගින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ රැකියා අහිමි කිරීමට බලාපොරොත්තු නොවන බව ද ඔහු සඳහන් කළේය.

ලෝක බැංකුවෙන් ලංකාවට තවත් ණයක්

සැප්. 17 - ඇමෙරිකානු ඩොලර් මිලියන 151 ක් අවුරුදු 20 කින් ආපසු ගෙවීමේ පදනම මත ලබාදීමට අදාළ ගිවිසුමට ලෝක බැංකුව හා රජය අත්සන් තැබීය.

ලෝක බැංකුවේ කොළඹ කාර්යාලයට අනුව, මේ ණය මුදලින් ඩොලර් මිලියන 98 ක් මාර්ග සංවර්ධන කටයුතු සඳහා ද, ඩොලර් මිලියන 43 ක් උතුරු නැගෙනහිර නිවාස ප්‍රතිසංස්කරණ සඳහා ද, තවත් ඩොලර් මිලියන 10 ක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතු සඳහා ද
යෙදවීමට නියමිතව තිබේ.

මෙසේ ලෝක බැංකුව අද ප්‍රදානය කළ ණය මුදල අවුරුදු 10 ක සහන කාලයකින් පසුව ආපසු ගෙවීමට සිදුවනු ඇත.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ ණය බර පසුගිය වසර දෙකේදී 17% කින් වැඩි වී තිබේ.

ආර්ථික වර්ධන වේගය 7%
සැප්. 17 - 2008 වසරේ දෙවන කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධන වේගය 7%ක් ලෙස වාර්තා වී තිබේ.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් මෙම වසරේ දෙවන කාර්තුව සදහා ජාතික ගිණුම් ඇස්තමේන්තු අද ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

මේ සඳහා කෘෂි කර්මාන්තයෙන් 12%ක ද, කර්මාන්ත අංශයෙන් 27%ක ද, සේවා අංශයෙන් 60.3%ක ද දායකත්වයක් ලැබී ඇතැයි එහි අධ්‍යක්ෂ ජනරාල් නාලිනී කුමාරසිංහ මහත්මිය පැවසීය.

ඉහළ අස්වනු ලැබෙන නව වී ප්‍රභේදයක්

සැප්. 17 - ඉහළ අස්වනු ලැබෙන නව වී ප්‍රභේදයක් හඳුන්වා දුන් බව බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය ප්‍රකාශ කළේය.

එහි අධ්‍යක්ෂ ආචාර්ය නිමල් දිසානායක මහතා ප්‍රකාශ කළේ, නව වී ප්‍රභේදයෙන් අක්කරයකට බුසල් 120 - 130 පමණ අස්වැන්නක් ලබා ගත හැකි බවය.

ඒ. ටී. 308 ලෙස නම් කර ඇති මෙම නව වී ප්‍රභේදය මාස තුනකින් අස්වනු ලබා දෙන්නකි.

මෙම වී වර්ගයේ බිත්තර වී නිෂ්පාදනය හා බෙදාහැරීම සඳහා පෞද්ගලික අංශයේ ද සහය ඇතිව වැඩපිළිවෙළක් අරඹා ඇතැයි වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය ප්‍රකාශ කළේය.

දැනට ගොවීන් අතර ප්‍රචලිත ප්‍රධාන වී වර්ග 5 අතරට ඒ.ටී.308 ද එක්වීමෙන් ඉහළ අස්වනු සහිත වී වගාවකට ඇති පෙළඹීම ඉහළ යනු ඇතැයි පර්යේෂණ ආයතනය අපේක්ෂා කරයි.

බී.ජී. 358 හා බී.ජී. 360 යන සම්බා වර්ග වලින් අක්කරයකට බුසල් 130-160 අතර ප්‍රමාණයක විශාල අස්වැන්නක් ලැබුන ද ඒවා වගා කළ හැක්කෙ දිවයිනේ කලාප කිහිපයක පමණි.

එහෙත්, ඒ. ටී. 308 නව වී ප්‍රභේදය දිවයිනේ ඕනෑම ප්‍රදේශයක වගා කළ හැකිය.

බොර තෙල් මිල තවත් පහළට - අපේ මිල පහළට යන්නේ කවදා ද?

සැප්. 17 - ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් මිල ඊයේ තවදුරටත් පහළ ගියේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිවේදනය කළේ බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 87.94ක් වූ බවය.

ඒ අනුව සැප්තැම්බර් මාසයේ මුල් සති දෙක තුළ පමණක් 23%කින් මිල පහළ ගොස් ඇත.

වෙළෙඳ පොළ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, තෙල් බැරලයක මිල ඉදිරියේදී අමෙරකානු ඩොලර් 80 - 85 ත් අගයක් දක්වා අඩු වනු ඇති බවය.

පසුගිය ජූලි මාසයේදී බොර තෙල් බැරලයක මිල අමෙරකානු ඩොලර් 147 දක්වා ඉහළ ගිය ද ඊයේ බොර තෙල් බැරලයක මිල සටහන් වූයේ අමෙරකානු ඩොලර් 87.94 වශයෙනි. ඒ අනුව සමස්ත මිල පහළ යෑම 38% කි.

මේ වසර ආරම්භයේදී පැවති මිල මට්ටම් දක්වා බොර තෙල් මිල වර්තමානයේ පහළ ගොස් ඇති අතර එවකට පැවති ලෝක වෙළෙඳ පොළ මිල ගණන් යටතේ පෙට්‍රල් ලීටරයක් දේශීය වෙළෙඳ පොළේ අලෙවි වූයේ රුපියල් 117කටය.

පසුගිය ජනවාරි මාසයේදී පෙට්‍රල් ලීටරයක් රුපියල් 109.55කට අලෙවි කළ හැකි බව රජය ප්‍රකාශ කර තිබිණ.

එහෙත් ජනවාරි 13වන දින පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 125ක් දක්වා ඉහළ දැමූ රජය පැවසුවේ, පෙට්‍රල් ලීටරයක් අලෙවි කිරීමෙන් රජය රුපියල් 19ක ලාභයක් ලබන බවය.

ඒ, රජය පෙට්‍රල්වලින් ලබන බදු ආදායමට අමතරව ය.

ජනවාරි මාසයේදී ලෝක වෙළෙඳ පොළෙහි පැවති මිල ගණන් ක්‍රියාත්මක වන වර්තමානයේ පෙට්‍රල් ලීටරයක දේශීය මිල රුපියල් 157කි.

වත්මන් ලෝක වෙළෙඳ පොළ මිල ගණන් අනුව පෙට්‍රල් ලීටරයකින් රජය දැනට ලබන සමස්ත ලාභය හා බදු ආදායම රුපියල් 70කට අධික ය.

ලෝක වෙළෙඳ පොළේ මෙම මිල ගණන් ම පැවති පසුගිය ජනවාරි මාසයේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ, එම මිල ගණන් යටතේ ඩීසල් ලීටරයක් රුපියල් 91.47කට අලෙවි කළ හැකි බවය.

කෙසේ වෙතත් මේ වන විට ඩීසල් ලීටරයක් මිලදී ගැනීම සඳහා රුපියල් 110ක් වැය කිරීමට පාරිභෝකියාට සිදුවී තබේ.

ඒක පුද්ගල ණය ප්‍රමාණය ඉහළට

සැප්. 16 - ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා රජය වෙනුවෙන් ඩොලර් මිලියන 60ක කෙටි කාලීන ණයක් ලබ‌ා ගත්තේය.

ඒ, එම වටිනාකමට සමාන ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර අලෙවි කිරීමෙනි.

පසුගිය වසර දෙකේදී ආසන්න වශයෙන් 18%කින් රාජ්‍ය ණය ගැනීම් ඉහළ ගොස් තිබේ.

මේ වන විට දේශීය හා විදේශීය මූලාශ්‍රවලින් ශ්‍රී ලංකා රජය ලබා ගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 3300කට ආසන්නය.

ඒ අනුව ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 153,000 ද ඉක්මවා තිබේ.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ සංවර්ධන බැඳුම්කර අලෙවි කිරීමෙන් ඩොලර් මිලියන 60ක ණය මුදලක් ලබා ගැනීමට තීරණය කළ බවය.

මෙම මුදලින් වැඩි කොටසක් මින් පෙර ලබා ගත් ඩොලර් මිලියන 70ක ණය මුදලින් කොටසක් පියවීමට යොදා ගන්නා බව ද මහ බැංකුව නිවේදනය කළේය.

කෙසේ වෙතත් මහ බැංකුව මින් පෙර ප්‍රකාශ කර තිබුණේ, සංවර්ධන බැඳුම්කර හරහා ලබා ගන්නා ණය සංවර්ධන ව්‍යාපෘති සඳහා වැය කරන බවය.

ව්‍යාජ නම්වලින් සම්බා සහල් වැඩි මිලට

සැප්. 15 - විවිධ නමින් හඳුන්වා සම්බා සහල් රජයේ පාලන මිලට වඩා ඉහළ මිල ගණන් යටතේ අලෙවි කිරීම තහනම් බව බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය පැවසීය.

එහි අධ්‍යක්ෂ ආචාර්ය නිමල් දිසානායක මහතා ප්‍රකාශ කළේ, දැනට බහුලව වගා කෙරෙන්නේ සම්බා වර්ග දෙකක් පමණක් බවය.

එම වර්ග දෙකෙන් සැකසෙන සම්බා සහල් රුපියල් 70ක උපරිම මිලක් යටතේ ප්‍රමාණවත් ලාභයක් ද සහිතව මෝල් හිමියන්ට සහ වෙළෙඳුන්ට අලෙවි කළ හැකි බව වී පර්යේෂණ ආයතනය පැවසුවේය.

බී.ජී. 358 සහ බී.ජී. 360 යන ඉහළ අස්වනු ලබා දෙන සම්බා ප්‍රභේද දෙක බහුතර ගොවීන් අතර ප්‍රචලිත වීමට හේතුවී ඇත්තේ ඒවා අක්කරයකට බුසල් 130-160 අතර ඉහළ අස්වැන්නක් ලබා දීම හේතුවෙනි.

බහුලව වගා කෙරෙන්නේ මෙම සම්බා වර්ග දෙක වුවද වෙළෙඳපොළේදී පාරිභෝගිකයන්ට සම්බා වර්ග ගණනාවක් විවිධ මිල ගණන් යටතේ මිලදී ගත හැකිය.

රජය සම්බා සහල් සඳහා රුපියල් 70ක උපරිම සිල්ලර මිලක් පැනවීමත් සමගම වෙළෙඳපොළට එක්වන මේ සම්බා සහල් වර්ග ගණනින් ඉහළයාම ද විශේෂත්වයකි.

කෙසේවෙතත් රුපියල් 70ට මිලදී ගැනීමට වෙළඳපොළෙහි ඇති සම්බා සහල්වල ගුණාත්මක තත්ත්වය පහළ යද්දී සහල් මොල් හිමියන් මෙරට නොමැති වී වර්ගවල නම් තබා පාලන මිලෙන් පිට පැන අධික මිල ගණන් යටතේ සම්බා සහල් අලෙවි කරන බව වෙළෙඳපොළට යන ඕනෑම බලධාරියෙකුට දැක ගත හැකිය.

වී සහ සහල් පිළිබඳ නිසි කරුණු දන්නා බතලගොඩ පර්යේෂණ නිලධාරීන් පෙන්වාදෙන තොරතුරුවලට අනුව මෝල් හිමියන් රිසි ලෙස නම් තබා සම්බා සහල් අධික මිල ගණන් යටතේ අලෙවිකරමින් පාරිභෝගිකයන් සූරාකෑව ද ඊට එරෙහිව ක්‍රියා කිරීමට පාරිභෝගික කටයුතු බාර බලධාරින් තවමත් අවධානය යොමු කර නොමැත.

බොර තෙල් මිල පහළට

සැප්. 11 - ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් බැරලයක මිළ ඇමෙරිකානු ඩොලර් 99ක් දක්වා ඊයේ පහළ ගියේය.

ඒ අනුව පසුගිය මාස දෙක තුළ දී බොර තෙල් බැරලයක මිල 30% කින් පහළ ගොස් ඇත.

ඔපෙක් සංවිධානය පසුගියදා පැවසුවේ ඉදිරියේදී බොර තෙල් බැරලයක මිල තවදුරටත් පහළ යාහැකි බවය.

ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් මිළ මේ වනවිට පසුගිය ජනවාරි මාසයේ පැවති මිල මට්ටම හෙවත් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 90 - 100 අතර අගයක් දක්වා පැමිණ ඇත.

ඊයේ ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ද තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 99ක් බවය.

කෙසේ වෙතත්, පසුගිය අප්‍රේල් හා මැයි මාසවලදී පැවති ලෝක වෙළෙඳ පොළ මිල ගණන් අනුව තීරණය කළ දේශීය ඉන්ධන මිල ගණන් නව මිල අනුව තවමත් සංශෝධනය වී නොමැත.

එසේම රජය පෙට්‍රල් ලීටරයක් මත රුපියල් 50කට අධික බදු බරක් ද පනවා ඇත.

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය කාර්යසාධනය පිළිබඳව පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකචිඡාවකදී අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා පැවසුවේ, වසරේ මුල් මාස හය තුළදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 1.5ක ලාභයක් උපයාගෙන ඇති බවය.

කිරි පිටි සමාගම්වලට අනතුරු ඇඟවීමක්
සැප්. 10 - කිරි පිටි මිල මේ වසරේදී ඉහළ දැමීමට කිසිසේත් ඉඩ නොතබන බව පාරිභෝගික කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, පවතින මිල ගණන්වලට කිරි පිටි අලෙවි කිරීමට නොහැකි සමාගම්වලට කිරි පිටි අලෙවිය නතර කළ හැකි බවය.

රජය සෑම කිරි පිටි කිලෝ ග්‍රෑම් එකකට ම රු. 88.86ක බදු සහනයක් ලබා දෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඔහු මේ බව පැවසුවේ, අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

සේවක අර්ථ සාධක අරමුදලට ඍණ මූර්ත පොළියක් !

සැප්. 10 - තම සේවක අර්ථසාධක අරමුදල් ඉතිරි කිරීම් ඇපයට තබා බැංකු මගින් ණය ගත් බොහෝ දෙනෙකුට වැල් පොළී ගෙවීමට සිදුව ඇතැයි කම්කරු අමාත්‍යංශය පෙන්වා දෙයි.

අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ, ගෙවීම් ප්‍රමාද වූ විට වැල් පොළී මත ගණනය කළ ණය වාරික අර්ථ සාධක ඉතිරි කිරීම්වලින් පියවා ගැනීමට බැංකු කටයුතු කර ඇති බවය.

මේ හේතුවෙන්, එවැනි නිවාස ණය ගත් සාමාජිකයන්ට විශ්‍රාම යාමේදී ලබා ගැනීමට ශේෂයක් ඉතිරි නොවන බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

සේවක අර්ථ සාධක අරමුදලේ 50 වන සංවත්සර උත්සවය පිළිබඳ දැනුවත් කිරීම සඳහා කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය වූයේ, සාමාජිකයන් දෙලක්ෂයක් පමණ තම සේවක අර්ථ සාධක අරමුදල් ඇපයට තබා රුපියල් බිලියන 27ක නිවාස ණය ලබා ගෙන ඇති බවය.

සේවක අර්ථ සාධක අරමුදලෙහි සාමාජික තැන්පතු නිසි ප්‍රතිලාභ ලැබෙන පරිදි ආයෝජනය කිරීමේ වගකීම මහ බැංකුව වෙත පැවරී තිබේ.

මේ අතර පසුගිය වසර තුනක් සේවක අර්ථ සාධක අරමුදල් සඳහා ගෙවා ඇත්තේ, ඍණ මූර්ත පොළියකි.

එහෙත් සාමාජික ඉතිරි කිරීම්වලට ගෙවනු ලබන නාමික පොළී අනුපාතිකයට උද්ධමනය ගැළපීමෙන් පසුව සැබෑ මූර්ත පොළිය 4%කට වැඩිවිය යුතු බව සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්වේ.

එසේම පිට පිට ම වසර ගණනාවක් සඳහා සාමාජිකයන්ට ඍණ පොළියක් ගෙවීමෙන් වැළකිය යුතු බව ද එහි දැක්වේ.

කෙසේ වෙතත්, සේවක අර්ථ සාධක අරමුදල් ආයෝජන ප්‍රතිපත්තියෙහි නොදැක්වෙන පදනමක් මත ශ්‍රී ලංකා මහ බැංකුව සාමාජික ප්‍රතිලාභ පිළිබඳ නව විග්‍රහයක් ද ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඉදිරිපත් කළේය.

නව සෞභාග්‍ය දර්ශකයක්
සැප්. 09 - පළාත්බද සංවර්ධන ප්‍රගතිය පෙන්නුම් කරන නව සෞභාග්‍ය දර්ශකයට අනුව ජාතික මට්ටමට ළඟා වී ඇත්තේ, පළාත් දෙකක් පමණක් බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කරයි.

නව සෞභාග්‍ය දර්ශකයට අනුව ජාතික මට්ටමට ළඟා වී ඇත්තේ, බස්නාහිර සහ මධ්‍යම යන පළාත් දෙකය.

ජන ජීවිතයේ යහ පැවැත්ම, සමාජ ආර්ථික යටිතල පහසුකම්, ආර්ථික හා ව්‍යාපාරික පරිසරය යන අංශවලින් එක් එක් පළාත් ළඟා කර ගෙන ඇති ප්‍රගතිය සහ පළාත් අතර විෂමතාව ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකය මගින් පිළිබිඹු කෙරේ.

ජන ජීවිතයේ යහ පැවැත්ම අතින් ජාතික මට්ටමට ළඟා වී ඇත්තේ, පළාත් තුනක් පමණි.

ඒ, බස්නාහිර, මධ්‍යම හා දකුණු යන පළාත් ය.

සමාජ ආර්ථික යටිතල පහසුකම් අතින් ද ජාතික මට්ටම හෝ ඊට වැඩි තත්ත්වයට ළඟා වී ඇත්තේ ද එම පළාත් තුන පමණි.

ආර්ථික හා ව්‍යාපාරික පරිසරයේ තත්ත්වය අනුව බස්නාහිර හැර අනෙකුත් පළාත් ජාතික මට්ටමට වඩා පහළින් පසු වන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කළ සෞභාග්‍ය දර්ශකයෙන් පෙන්වා දෙයි.

ණය - ණය - ණය
සැප්. 05 - ගත් ණය පියවීම සඳහා කෙටි කාලීන ණය ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාව ණය උගුලක හිර විය හැකි බව අර්ථ ශාස්ත්‍රඥයෝ අනතුරු අඟවති.

ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරි සති කිහිපය තුළදී තවත් අමෙරිකානු ඩොලර් මිලියන 70ක කෙටි කාලීන ණයක් ලබා ගැනීමට නියමිතය.

පසුගිය මැයි මාසය වන විට ශ්‍රී ලංකා රජය ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 3269ක් විය.

ඒ අනුව, එක් පුද්ගලයෙකු මත පැටවී ඇති ණය බර රු. 153000කි.

වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පෙන්වා දෙන්නේ, මේ වසරේ ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා වූ කාලය තුළ ණය සඳහා පොළී ගෙවීම් රුපියල් මිලියන 71437ක් වන බවය.

එය ඊට පෙර වර්ෂයේ එම කාලය තුළ ගෙවූ පොළී මුදලට සාපේක්ෂව 29%ක ඉහළ යාමකි.

පසුගිය කාලය තුළදී ණය ආපසු ගෙවීම හා රජයේ වියදම් පියවා ගැනීම සඳහා ණය ගැනීම් ඉහළ ගොස් ඇති බව එම වාර්තාවේ සඳහන්ය.

මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරි සති කිහිපය තුළදී තවත් අමෙරිකානු ඩොලර් මිලියන 70ක වාණිජ ණයක් ලබා ගැනීම සඳහා ප්‍රචාරක කටයුතු අරඹා තිබේ.

සංවර්ධන බැඳුම්කර හරහා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මීට දෙමසකට පෙර ද අමෙරිකානු ඩොලර් මිලියන 230ක කෙටි කාලීන ණයක් ලබා ගත්තේය.

උපදේශන අර්ථ ශාස්ත්‍රඥ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ, මෙසේ කෙටි කාලීන ණය ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාව ණය උගුලක හිර විය හැකි බවය.

ජී.එස්.පී. ප්ලස් 'මයිනස්' වෙයිද?
සැප්. 03 - ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහන ලබා ගැනීමට අදාළ සම්මුති ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමක් බව ඒකාබද්ධ ඇඟළුම් සංසදය පවසයි.

මෙරට නිෂ්පාදනය කෙරෙන ඇඟළුම්වලින් 50%ක් අපනයනය කෙරෙන්නේ, යුරෝපා වෙළෙඳ පොළටය.

ඒ, යුරෝපා රටවල් 27ක් ශ්‍රී ලංකාවට දී ඇති ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහන හේතුවෙනි.

එම බදු සහනයේ ප්‍රථම අදියර නිමාවීමෙන් අනතුරුව ලබන වසරේ සිට එය නැවත ලබා දීම සඳහා වන සමාලෝචනය ඉදිරි මාස කිහිපයේදී සිදු වීමට නියමිතය.

පසුගියදා ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපතිවරයා පෙන්වා දුන්නේ, ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහන තවදුරටත් දීර්ඝ කිරීම සැකසහිත බවය.