ශ්‍රීමත්
ආතර් සී. ක්ලාක්, සිය 90 වැනි විය සමරා තෙමසකුත් දින තුනක් ඉක්ම
යද්දී සිය අසිරිමත් සිහින දැකීමට සමු දුන්නේය. එහෙත් ඒ කිසිවක්
ම ඉතිරි නොකර නොවේ.
ඔහු
නික්මුණේ, යථාර්ථයක් නොවේ යැයි කිව නොහැකි සිහිනයක් වූ අවසන්
බලාපොරොත්තු තුනක් ලොව හමුවේ තබමිනි.
තවත් පසුතැවීම් හෝ පෞද්ගලික අපේක්‍ෂා නොමැති බව
අවධාරණය කරමින් සිය අනූ වැනි ජන්ම දිනය වෙනුවෙන් පසුගිය දෙසැම්බරයේදී
නිකුත් කළ වීඩියෝ ප්‍රකාශනයෙහි ශ්‍රීමත් ක්ලාක් සිය අවසන් අපේක්‍ෂා
මොනවාදැයි ලැයිස්තුගත කළේය.
1. පිටසක්වල ජීවය පිළිබඳ යම් සාක්‍ෂි
2. පිරිසුදු බලශක්ති ප්‍රභව භාවිතය
3. ශ්‍රී ලංකාවේ දිගු කාලීන සිවිල් යුදධයේ නිමාව
සියවස් ගණනක් එපිට ලොව ස්පර්ශ කරන සිය යථාර්ථවාදී
පරිකල්පනයට ශ්‍රීමත් ක්ලාක් අවසන් තිත තැබූවේ එසේය.
අභ්‍යවකාශ, සන්නිවේදන සහ තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රවල
නව සොයා ගැනීම් රැසකට පදනම් වූ සංකල්ප හඳුන්වා දුන් ශ්‍රීමත්
ආතර් සී. ක්ලාක් මහතා දශක තුනකට අධික කාලයක් ශ්‍රී ලංකාව සිය
නිවහන කර ගත් බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.
කෘත්‍රිම
සන්නිවේදන චන්ද්‍රිකා උපයෝගී කර ගෙන මුළු ලෝකය ම හකුළුවාලිය
හැකි බැව් 1945 වසරේදී ප්‍රකාශ කළ ශ්‍රීමත් ක්ලාක්, එතුළින්
ලෝක ඉතිහාසයේ යෝධ ඉදිරි පිම්මක් සඳහා මග විවර කළේය.
එදා ශ්‍රීමත් ක්ලාක් ඉදිරිපත් කළ සිද්ධාන්ත ඔස්සේ
කෙරුණු සොයා ගැනීම්වල ඵලය ලොව සෑම තැන්හි වෙසෙන ජනතාව අද භුක්ති
විඳිති. එම සිද්ධාන්තමය සංකල්පවලට පේටන්ට් බලපත්‍ර ලබා ගනිමින්
මුල්‍යමය වශයෙන් වටිනා අයිතිවාසිකම් නොකීව ද අදට ත් ශ්‍රීමත්
ක්ලාක් සැලකෙන්නේ, සන්නිවේදන චන්ද්‍රිකාවේ පියා ලෙසය.
බ්‍රිතාන්‍ය
ජාතික පරිගණක විද්‍යාඥයකු වූ ටිම් බර්නර්ස් ලී විසින් 1989 දී
සොයා ගන්නා ලද ඉන්ටර්නෙට් ජාලයේ බීජය වූයේ, 1964 වසරේදී "Dial F for Frankenstein" නමින් ශ්‍රීමත් ක්ලාක් රචනා කළ කෙටි කතාවකි.
ශ්‍රීමත් ක්ලාක් අතින් මේ වන විට ලියැවී ඇති කෘති
ගණන 100 ඉක්මවා ඇත. ඔහු කළ රචනා සහ කෙටි කතා දහස් ගණනකි.
 මුහුදු
කිමිදුම් ගවේෂණය පිළිබඳ ශ්‍රීමත් ක්ලාක් තුළ වූ අභිරුචිය විසින්
ඔහුව 50 දශකයේදී ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබීය. ඒ අනුව, 1956 වසරේ
සිට ශ්‍රී ලංකාව සිය වාස භූමිය කරගත් ශ්‍රීමත් ක්ලාක්, සංචාරක
ගමනාන්තයක් ලෙස මෙරටෙහි ඇති වැදගත්කම ප්‍රවර්ධනය කරමින් අඩ සියවසක්
පමණ විවිධ ලිපි ලිවීමෙහි ද, විද්‍යුත් සන්නිවේදනයෙහි ද යෙදිණි.
1975 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම ආරාධිත නේවාසිකයා
වූ ඔහු 1979 වසරේදී මොරටුව සරසවියේ කුලපති ධුරයට පත් කරනු ලැබූ
අතර 2002 වසර තෙක් ම ඔහු එම ධුරයේ ක්‍රියා කළේය. එසේ ම 1989
වසරේ සිට 2002 වසර දක්වා ඔහු ජාත්‍යන්තර අභ්‍යවකාශ විශ්වවිද්‍යාලයේ
කුලපතිවරයා ද විය.
1917
වසරේ දෙසැම්බර් මස 16 වැනිදා බ්‍රිතාන්‍යයේ සමර්සෙට් ප්‍රාන්තයේ
මයින්හෙඩ්හි උපත ලත් ආතර් චාර්ල්ස් ක්ලාක් මහතා ලන්ඩන්හි කිංග්ස්
විද්‍යාලයේ
භෞතික විද්‍යාව හා ගණිතය පිළිබඳ පළමු පෙළ විද්‍යාවේදී උපාධිධරයෙකි.
බ්‍රිතාන්‍ය විගණන දෙපාර්තමේන්තුවේ විගණකවරයෙකු
වූ ඔහු 1941 වසරේ සිට 1946 වසර දක්වා රාජකීය ගුවන් හමුදාවේ සේවය
කළේය.
1950
දී පූර්ණ කාලීන ලේඛකෙයකු හා ගවේෂකෙයකු බවට පත් ආතර් සී. ක්ලාක්
මහතා සහශ්‍රකය විනිවිද දකිමින් එතෙක් මෙතෙක් සිය ලේඛනයෙන් ගෙන
හැර පෑ විශ්වීය සංකල්පනා ලොව පුරා සම්මානයට පාත්‍රවිය.
- 2001 : A Space Odyssey - නම් චිත්‍රපටය සඳහා ස්ටැන්ලි කුබ්‍රික්
මහතා සමග එක්ව කළ තිර නාටකය ඔස්කාර් සම්මාන සඳහා නම් කෙරිණි.
1988 වසරේදී බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ
රැජින ආතර් සී. ක්ලාක් මහතාට නයිට් පදවියක් පිරිනැමුවේ, සාහිත්‍ය
ක්‍ෂේත්‍රයට ඔහුගෙන් ඉටුවූ මෙහෙය අගයමිනි.
කෙතරම් ගරු සම්මානවලට පාත්‍ර වුව ද ශ්‍රී ලංකාව
හැර යාමට අකමැති වූ මෙම වියතාගේ අවසන් කැමැත්ත වූයේ, දිනෙක සිය
ප්‍රාණය නිරුද්ධ වූ සිරුර ශ්‍රී ලංකා බිමෙහි මිහිදන් කිරීමය.
ඒ
අනුව, තමන්ට ඉතා සමීප වූ ඒකනායක පවුලට අයත්, බොරැල්ල සුසාන භූමියේ
පිහිටි බිම් කඩෙහි තම සිරුර භූමදාන කරන්නැයි සිය අවසන් කැමැත්ත
ලෙස සටහන් කර තිබිණි. එසේම සිය අවසන් කටයුතු කවර හෝ ආගමික වතාවත්වලින්
තොරව පැවැත්විය යුතු බව ද ඔහුගේ අවසන් ලිඛිත ඉල්ලීමට ඇතුළත්
විය.
ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් මහතා පසුගිය දෙසැම්බරයේදී
සිය 90 වැනි උපන් දිනය නිමිත්තෙන් කොළඹ පිහිටි සිය නිවසේ සිට
විශේෂ විඩියෝ පණිවුඩයක් ලොවටම නිකුත් කළේය.
ඉන්ටර්නෙට් ජාලයට ද මුදා හැරුණු එම පණිවුඩයේ සංක්‍ෂිප්ත සටහනකි
මේ.
--------------------------------------------------------
මගේ 90 වැනි උපන් දිනයට එළඹෙද්දී මගේ මිතුරන් අහනවා, සූර්යයා
වටා වූ කක්‍ෂයේ 90 වරක් භ්‍රමණය වීම දැනෙන්නේ කෙසේදැයි කියා.
ඇත්තෙන්ම 89 ට වඩා වැඩිපුර එක් දවසක්වත් වයස්ගත බවක් මට දැනෙන්නේ
නැහැ.
කොහොම වුනත් මම ජ්‍යෙෂ්ඨ පුරවැසියකුගේ තත්ත්වයට සුදුසුකම් ලබා
ඇති බව සමහර කරුණු මට මතක් කර දෙනවා.
වරක් බොබ් හෝප් පැවසූ පරිදි, - කේක් ගෙඩියට වඩා ඉටිපන්දම් වලට
යන වියදම වැඩි වූ විට ඔබ වයසට යන බව ඔබට වැටහෙනවා -
පසෙකට වී සිදුවෙන දේ බලා සිටිමින් මා දැන් ඇත්තෙන්ම සතුටට පත්වෙනවා.
නමුත් මේ තරම් දිගු කාලයක් ජීවත් වීමේ කණගාටුදායක පැත්තකුත්
තිබෙනවා, මගේ සමකාලීනයන් සහ පැරණි හිතවතුන් බොහොමයක් දැනටමත්
වියෝ වී ගොසින්. කෙසේවෙතත්, ආවර්ජනය කළ හැකි මිහිරි මතකයන් ගොන්නක්
ඔවුන් මට ඉතිරි කර ගොස් තිබෙනවා.
දැන් මා මගේ දවසින් වැඩි කොටසක් ගත කරන්නේ ගෙවී ගිය අතීතය ගැනත්,
වර්තමානය ගැනත්, අනාගතය ගැනත් සිහින දැකීමටයි.
දිනකට පැය 15 ක නින්දක් ඔස්සේ රැකෙන්නට මා දැන් උත්සාහ කරන
නිසා විචිත්‍රවත් සිහින සඳහා මට ඇති තරම් කාලය තිබෙනවා. ගතින්
සම්පුර්ණයෙන්ම රෝද පුටුවකට සීමා වුවත්, මනසින් ඊට ඉඳුරාම ප්‍රතිවිරුද්ධව
විශ්වය පුරා මා සැරි සැරීම සීමා වී නැහැ.
මා දුටු සිහින බොහොමයක් මගේ ජීවිත කාලය තුළදී ම සැබෑ වනු දකින්නට
ලැබීමට තරම් මා වාසනාවන්ත වුණා. 1920 ගණන් සහ 30 ගණන් වල දරුවකු
ලෙස වැඩෙද්දී, දශක කිහිපයක කාල පරාසය තුළ මෙතරම් දේ සිදුවෙතැයි
කිසිවිට මා බලාපොරොත්තු වුනේ නැහැ. බ්‍රිතාන්‍ය අන්තර්ග්‍රහලෝක
සංගමයේ - අභ්‍යවකාශ ශිෂ්‍ය භටයින් - ව සිටි අවධියේදී අපේ විවේක
කාලය සම්පූර්ණයෙන්ම ගතවුනේ අභ්‍යවකාශ චාරිකා පිළිබඳ කතාබහ කරන්නටයි.
ඒත් එම චාරිකා අපට මෙතරම් නුදුරු අනාගතයේදී සිදුවෙතැයි අප බලාපොරොත්තු
වුනේ නැහැ.
අප අභ්‍යවකාශ යුගයේ 50 වැනි සංවත්සරය පසු කළ බව මට තවමත් විශ්වාස
කිරීමට අමාරු තරමයි. නමුත් තවමත් - අභ්‍යවකාශ යුගයේ ස්වර්ණමය
අවධිය ඇරඹුණා - පමණයි. අඩ සිය වසක රාජ්‍ය අනුග්‍රහය ඇති උත්සාහයන්ගෙන්
පසුව, නැගී එන වානිජමය අභ්‍යවකාශ චාරිකා බිහි වන ලකුණු දැන්
දකින්නට පුලුවන්.
මීළඟ 50 වසර තුළදී දහස් ගණන් ජනයා පෘථිවි කක්‍ෂයට චාරිකා සඳහා
යනවා ඇති. එතැනින් සඳට ද, ඉන් ඔබ්බට ද යනවා ඇති. කාලයකදී, අභ්‍යවකාශ
චාරිකා, අභ්‍යවකාශ සංචාර අප ග්‍රහලෝකයේ සොඳුරු විශේෂ තැන් වෙත
කෙරෙන ගමන් තරමට ම සාමාන්‍ය දෙයක් වනවා ඇති.
තවත් විද්‍යා සහ තාක්‍ෂණ අංශ රැසක වෙනස්කම් ශීඝ්‍රයෙන් සිදුවෙමින්
පවතිනවා. මම එක් නිදසුනක් දෙන්නම්. ජංගම දුරකතන ආවරණය මෑතකදී
සමස්ත ලෝක ජනගහණයෙන් 50% සීමාව නැතිනම්, සේවාලාභීන් බිලියන 3.3
ක සීමාව ඉක්මවා ගියා. මෙය සිදුවීමට ගතවුනේ පළමු ජංගම දුරකතන
ජාලය ස්ථාපනය කොට සියවස් කාලකට මඳක් වැඩි කලක් පමණයි. ජංගම දුරකතනය
මානව සන්නිවේදනය විප්ලවීය වෙනසකට ලක් කර තිබෙනවා. එමෙන්ම එය
මානව ප්‍රජාව, තොරතෝංචියක් නැතිව කතා බහ කරන විශ්ව පවුලක් බවටද
පරිවර්තනය කර තිබෙනවා.
ජීවි විශේෂයක් ලෙස මෙයින් අපට ඇති ඵලය කුමක් ද?
සන්නිවේදන තාක්‍ෂණ අත්‍යවශ්‍ය වුවත්, මානවයා හට එකිනෙකා සමග
සහයෝගයෙන් ජීවත්වීමට එය පමණක් ප්‍රමාණවත් නැහැ. ලොව පුරා තවමත්
ආරවුල් සහ ගැටුම් අප අත්විඳින්නේ ඒ නිසයි. තොරතුරු රැස් කිරීමටත්,
බෙදාහැරීමටත් තාක්‍ෂණික මෙවලම් අපට උපකාරීවනවා. නමුත් පුද්ගලයින්
සහ ජාතින් අතර ගැඹුරු අවබෝධය ඇති කර ගැනීම සඳහා ඉවසීම සහ දයාව
වැනි ගුණාංග ද අපට අවශ්‍යයි.
මා මෙහෙයවන මූලධර්මය ලෙස සර්ව ශුභවාදය පිළිබඳව ලොකු විශ්වාසයක්
ඇති කෙනෙක්. ඒ, ආත්මතෘප්තිය ගෙන දෙන අනාවැකි නිර්මාණය කිරීම
සඳහා එය අවස්ථාව ගෙන දෙන නිසයි. ඒ නිසා, ඉතිහාසයේ වඩාත් ම්ලේච්ඡතම
වූ සියවස නැතිනම්, 20 වෙනි සියවස තුළින් අප යමක් ඉගෙන ගෙන ඇතැයි
මා විශ්වාස කරනවා. අපගේ ගෝත්‍රික බෙදීම් අභිබවා එක් පවුලක් ලෙස
සිතන්නටත් ක්‍රියාකරන්නටත් අප පෙළඹෙනු දකින්නට මා කැමතියි. නියම
ගෝලීයකරණයත් එයමයි.
සූර්යයා වටා 90 වරක් භ්‍රමණය වීම සම්පූර්ණ කළ මා තුළ කණගාටු
වීමට යමක් මෙන්ම පුද්ගලික අපේක්‍ෂා ද ඉතිරිව නැහැ. නමුත් මට
සීමිත ප්‍රාර්ථනා තුනකට පමණක් ඉඩ ලැබුනොත් ඒ ප්‍රාර්ථනා අතරට
වැටෙන්නේ මේවායි.
පළමුව, පිටසක්වල ජීවයක් පිළිබඳ සාධක දකින්නට මා කැමතියි. විශ්වය
තුළ අප හුදෙකලා වී නැතැයි මා කවදත් විශ්වාස කළා. නමුත් පිටසක්වල
ජීවීන් අපට කතා කරන තෙක් එහෙමත් නැතිනම් යම් සංඥාවක් දෙන තෙක්
අප තවමත් බලා සිටිනවා. ඒ සංඥා ලැබීම කවදා සිදුවේදැයි අනුමාන
කරන්නට අපට මගක් නැහැ. එය පසුවී සිදුවීමට වඩා ඉක්මනින් සිදුවනවාට
මා කැමතියි.
දෙවනුව, තෙල්වලට ඇති ඇබ්බැහිවීමෙන් මිදී පිරිසුදු බලශක්ති ප්‍රභව
කෙරෙහි අනුගත වනු දකින්නට මා කැමතියි. මම දශකයකට වැඩි කාලයක්
විවිධ මාදිලියේ නව බලශක්ති පර්යේෂණ පිළිබඳ විමසිල්ලෙන් බලා සිටිනවා.
නමුත් ඒවායින් මෙතෙක් වානිජ මට්ටමේ ප්‍රතිඵල ලැබී නැහැ. මෙය
කඩිනම් කිරීමේ අවශ්‍යතාව දේශගුණික විපර්යාසයන් නිසා ද මතුවී
තිබෙනවා. අපේ ශිෂ්ටාචාරය බලශක්තිය මත යැපුනත්, තෙල් සහ ගල් අඟුරුවලට
අපේ ග්‍රහලෝකය හෙමි හෙමින් පුළුස්සා දමන්නට අපට ඉඩ දෙන්නට බැහැ.
තුන්වෙනි ප්‍රාර්ථනය මගේ පදිංචියට සම්බන්ධයි. වසර 50 ක් තිස්සේ
මා ශ්‍රී ලංකාවේ වාසය කරනවා. එයින් අඩකට වැඩි කාලයක් මා වෙසෙන
රට බෙදනු ලැබූ අමිහිරි ගැටුමේ සාක්‍ෂිකරුවකු වීමට මට සිදු වුනා.
ශ්‍රී ලංකාව තුළ හැකි ඉක්මණින් කල් පවත්නා සාමයක් ඇති වේවායි
මා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා. එහෙත්, සාමය ප්‍රාර්ථනා තුළින්
පමණක් ළඟාවන්නක් නොවන බව මා දන්නවා. ඒ සඳහා වෙහෙසව කටයුතු කිරීමත්,
ධෛර්යයත්, එම අරමුණ ජය ගැනීම සඳහා ඇති දැඩි උවමනාවත් අවශ්‍යයි. |