Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
   
 
 
ප්‍රධාන විනිසුරු තීරණයට ඩිල්ශාන් අභියෝග කරයි
ජූලි 25 - ක්‍රිකට් වංශ කථාවේ මුල් වරට පිටියේ ප්‍රධාන විනිසුරු ලබා දෙන තීරණය අභියෝගයට ලක් කරමින් ජයග්‍රහණය කිරීමට තිලකරත්න ඩිල්ශාන් ඊයේ සමත් විය.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේ තිලකරත්න ඩිල්ශාන්ගේ පිත්තේ පන්දුව දැවටුණු බවට ඉන්දීය ක්‍රීඩකයන් කළ ඉල්ලීම සනාථ කරමින් ප්‍රධාන විනිසුරු දැවී යාමේ තීන්දුව දුන් පසු තිලකරත්න ඩිල්ශාන් තෙවන විනිසුරු හමුවේ එම තීන්දුව නැවත විමසීමකට ලක් කළේය.

රූපවාහිනී පුනරූපණ විශ්ලේෂණය කිරීමෙන් පසු තෙවන විනිසුරු ඩිල්ශාන් දැවී නොගිය බවට තීරණය කළේය.

ක්‍රිකට් විනිසුරුවරුන් ලබා දෙන තීරණ අභියෝගයට ලක් කරමින් මෙසේ තෙවන විනිසුරු වෙත ඉල්ලීම් කිරීමේ හැකියාව ක්‍රීඩකයන්ට හිමිවන මෙම නව ක්‍රිකට් නීතියක අත්හදා බැලීම දැන් පැවැත්වෙන ඉන්දු - ලංකා ටෙස්ට් තරගාවලියේදී සිදුවේ.

පළමු වරට ක්‍රිකට් විනිසුරු තීරණය අභියෝගයට
ජූලි 24 - ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය වන අද මලින්ද වර්ණපුර කඩුල්ල මුවා කළ බවට වූ ඉල්ලීම ප්‍රතික්ෂේප වීමෙන් පසු ඉන්දියානුවන් විසින් තෙවන විනිසුරු හමුවේ අභියෝගයට ලක් කිරීම ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට සිදු විය.

මෙම තරගයේ 46 වන පන්දු ඕවරයේ සිව් වන පන්දුවේදී මලින්ද වර්ණපුර කඩුල්ල මුවා කළ බවට හර්බජන් සිං කළ ඉල්ලීම ප්‍රධාන විනිසුරු මාර්ක් බෙන්සන් ප්‍රතික්ෂේප කළේය.

ඊට එකඟ නොවූ ඉන්දියානු කණ්ඩායම තෙවන විනිසුරු රූඩි කර්ට්සන් වෙත අදාළ ඉල්ලීම යොමු කරන ලද නමුත් එය ද ප්‍රතික්ෂේප විය.

මෙහිදී රූපවාහිනී ප්‍රතිරූපණ හා හෝක්අයි තාක්ෂණය ඇසුරෙන් පන්දුවේ පතිතවීම, පන්දුවේ ගමන් මග හා පා ආවරණයේ පන්දුව ගැටෙන ස්ථානය සලකා තෙවන විනිසුරු දකුණු අප්‍රිකානු ජාතික රූඩි කර්ට්සන්, ප්‍රධාන විනිසුරුගේ තීරණය හා එකඟ විය.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ක්‍රීඩකයන්ට විනිසුරුවරුන් ලබා දෙන තීරණ අභියෝගයට ලක් කරමින් තෙවන විනිසුරු වෙත ඉල්ලීම් කිරීමේ හැකියාව මෙම තරගාවලියේදී අත්හදා බැලේ.

වසර 11 ට පසුව කරළියට පැමිණි ශ්‍රී ලාංකිකයාගේ යෝජනාව

ක්‍රිකට් විනිසුරුවරුන් ලබා දෙන තීරණ අභියෝගයට ලක් කරමින් තෙවන විනිසුරු වෙත ඉල්ලීම් කිරීමේ හැකියාව ක්‍රීඩකයන්ට හිමිවන නව ක්‍රිකට් නීතියක් අත්හදා බැලීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සැරසෙයි. එළඹෙන ජූලි 23 දින සිට ඇරඹෙන ඉන්දු-ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ දී මෙය අත්හදා බැලීමට නියමිතය.

මෙම නව නීතිය යටතේ ප්‍රධාන විනිසුරුවරුන්ගේ තීරණ පිළිබඳව නැවත තෙවන විනිසුරුගෙන් විමසීමේ බලතල පන්දුවට පහර දෙන පිතිකරුට හෝ පන්දු රකින කණ්ඩායමේ නායකයාට හිමිවේ. එක් ඉනිමක දී මෙවැනි අවස්ථා තුනක් දෙපිළටම හිමිවේ. එසේ කරනු ලැබූ ඉල්ලීමක් සාර්ථක වුවහොත් එම අවස්ථා තුන නොවෙනස්ව අදාළ පාර්ශවයට ලැබේ. නමත් ඉල්ලීම ප්‍රතික්ෂේප වුවහොත් අවස්ථා තුනෙන් එකක් අදාළ පාර්ශවයෙන් ගිලිහෙයි.

පිතිකරුවෙකු දැවී යා හැකි අවස්ථාවක් වන 'ප්‍රමාද වී පිටියට පැමිණීම' හි දී හැර අන් සෑම දැවී යාමකදීම මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට පුළුවන. මේ නීතිය යටතේ මීට පෙර පැවති තෙවන විනිසුරු හා සම්බන්ධ නීතිවල වෙනසක් සිදු නොවන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි.

ක්‍රිකට් පිටියේ බහුලව භාවිත වන තාක්ෂණික ක්‍රමවේද මෙම තීරණ ලබාදීමේ දී යොදා ගනු ලබයි. පිටියේ යොදා ඇති කැමරා මගින් ලබා ගන්නා මන්දගාමී පුනරූපණ (Slow Motion Replays), කඩුල්ලේ සවි කර ඇති මයික්‍රෆෝන් මගින් ලබා ගන්නා ශබ්ද ආදිය මෙහිදී වැදගත් වේ. එහෙත් කඩුල්ල ආවරණය කිරීමේ වරද (LBW) වෙනුවෙන් Hawk-Eye තාක්ෂණය සම්පූර්ණයෙන්ම භාවිත නොකිරිමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. එහිදී පන්දුව පිතිකරුගේ සිරුරේ දැවටෙන අවස්ථාව තෙක් පන්දුවේ ගමන් මඟ නිර්ණය කිරීමට Hawk-Eye තාක්ෂණය යොදා ගැනීමට අවසර ඇති අතර ඉන්පසුව පන්දුවේ ගමන් මඟ උපකල්පනය කිරීමේ කොටස භාවිත නොකරයි.

මෙම නව ක්‍රමවේදයට අනුව 'ටී' අකුරේ හැඩය සලකුණු කිරීමෙන් අදාළ අවස්ථාව තෙවන විනිසුරු වෙත යොමු කිරීමට ක්‍රීඩකයන්ට හැකි වේ. අනතුරුව තෙවන විනිසුරු තම තීරණය පිටියේ විනිසුරු වෙත ලබා දෙන අතර එය තමා විසින් දෙන ලද තීරණයට ප්‍රතිවිරුද්ධ නම් එය අවලංගු කර නව තීරණය ප්‍රකාශ කිරීමට පිටියේ ප්‍රධාන විනිසුරුට බලය ඇත.

විනිසුරු තීරණ නැවත විමසීමේ මෙම ක්‍රමය කෙරෙහි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල‌ෙය් අවධානය යොමු වූයේ පසුගිය ඉන්දු-ඹස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී සිදුවූ ආන්දෝලනාත්මක හා දුර්වල විනිසුරු තීරණ හේතුවෙනි. මෙම ක්‍රමය එංගලන්ත-දකුණු අප්‍රිකා තරගාවලියේදී යොදා ගැනීමට ඹවුන් අපේක්ෂා කළ ද කණ්ඩායම්වල එකඟතාවක් නොවූයෙන් එය අත්හදා බැලීමට නොහැකි විය.

මෙම ක්‍රමය මුල්වරට යෝජනා කර ඇත්තේ ශ්‍රී ලාංකික නීතිඥයෙකු වන සේනක වීරරත්න මහතාය. ඒ වර්ෂ 1997 දීය. කෙසේ වුවත් මෙම මස ඇරඹෙන ඉන්දු-ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේදී ඇතිවන ප්‍රතිඵල සැලකිල්ලට ගෙන මෙම නීතිය ස්ථාපනය කිරීම පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල අවසන් නිගමනයකට එළඹෙනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වම්න් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවරිධන පැවසුවේ නව ක්‍රමය නිසා ක්‍රිකට් පිටියේ සිදුවන අත්වැරදීම් අවම කර ගත හැකි වනවා සේම පිටියේ විනිසුරුවන්ට නිසි ගෞරවය ද ලැබිය යුතු බවය.

හිටපු ජනපතිනියට මිලියන 3 ක දඩයක්
කැලයේ තිබූ මළ සිරුරු හඳුනාගැනේ
මාතර පදිංචිකරුවෙකුට මරණ දඬුවම
මාලදිවයිනේ ප්‍රථම බහු පක්ෂ ජනාධිපතිවරණය
දෙහිවලදී තරුණයෙකු ඝාතනය කරයි
කැලයකින් මළ සිරුරු 4ක් හමුවෙයි
මුදා නොගත් ප්‍රදේශවලට ආහාර ලොරි 50ක් මේ සතියේ
ගුරුවරුන්ට පුහුණුවක්
මගීන්ට උපදෙසක්
කරුණාගේ පත්කිරීම නීතිවිරෝධීයි - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
ජානක පෙරේරාගේ දේහය අද අනුරාධපුරයට
සාමකාමී විසඳුමකට ඉන්දියාව මැදිහත් විය යුතුයි - කරුණානිධි
 
 
 
 
 
 
Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
Privacy Statment