Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
   
 
 
 
 
ඩොල්ෆින් ඇවිත් !

මේ, පසුගිය දිනෙක හලාවත සිට කල්පිටිය දක්වා වූ මුහුදු තීරයේදී නෙත ගැටුනු චමත්කාරජනක ඩොල්ෆින් රෑනකි.

සිය ගණනකින් සැදුම් ලත් මෙම ඩොල්ෆින් රෑන මුහුදේ සැතපුම් කිහිපයක් ඔබ්බට ගිය විට දැක ගත හැකි විය.

දිය මතින් අඩි කිහිපයක් ඉහළට පනිමින්, දඟ කැවී, යළි කිමිදෙමින් එම ඩොල්ෆිනුන් පෙන්වූ කඩිසර හැසිරීම් රටාව සැබවින්ම ආශ්වාදජනකය.

Spinner Dolphin ලෙස හැඳින්වෙන මෙම ඩොල්ෆින් විශේෂයට සිංහල බසින් ඇති යෙදුම "බඹර මුල්ලා"ය. මෙම සතුන් අන් ඩොල්ෆින් විශේෂ වලට වඩා බෙහෙවින් ක්‍රියාශීලීය.

දියෙන් ඉහළට විදින විට පෙන්වන කැරකැවී නොඑසේනම් දඟකැවී යන ස්වභාවය හේතුවෙන් මෙම ඩොල්ෆින් විශේෂය බඹර මුල්ලා යන නමින් හැඳින්වේ. මෙම ඩොල්ෆින් වි‌ශේෂය ශ්‍රී ලංකාව තුළ බහුලව දැකගත හැකිය.

ශ්‍රී ලංකාව වටා ඇති මුහුද ඩොල්ෆිනුන්ගෙන් පොහොසත් වුවත් සාමාන්‍යයෙන් විශාල ඩොල්ෆින් රෑන් දැක ගැනීමට නම් සැතපුම් 7 - 8 ක් පමණ දියඹට යා යුතුය.

එසේ වුවද, කල්පිටිය ආශ්‍රිත ප්‍රදේශයේ වෙරළාසන්නව මෙවැනි ඩොල්ෆින් රෑන් දැක ගත හැක.

ස්ටෙනෙල්ලා ලොන්ගිරොස්ට්‍රිස් (Stenella longirostris) යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙම ඩොල්ෆින් විශේෂය ඝර්ම කලාපීය මුහුදු ප්‍රදේශවල බහුලය.

රංචු වශයෙන් විසීමට රුචි මෙම ඩොල්ෆින් සතුන් 100 ත් 3000 ත් අතර ප්‍රමාණවලින් වූ රෑන් ලෙස ගැවසේ. මෙම විශේෂයේ ඩොල්ෆින් සතෙකු අඩි 6 - 7 ත් අතර වේ.

මෙම ආශ්වාදජනක සත්ත්වයා පිළිබඳ ඛේදනීය කතාන්තරයක් ද ඇත.

ඒ, ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල මෙම බඹර මුල්ලා දඩයම් කිරීමය. මෝරුන් සහ විශාල ප්‍රමාණයේ මසුන් ඇල්ලීම සඳහා යොදන දැල් වල බඹර මුල්ලා ද පැටලී එන වාර අපමණය.

ඒ හැර, දැනුවත්ව ම දඩයම් කෙරෙන බඹර මුල්ලා, මුහුදු ඌරා යන නමින් රටේ ඇතැම් ප්‍රදේශවල මත්ස්‍ය වෙළෙඳුන් විසින් අලෙවි කරනු ලබන අවස්ථා ද බො‌හෝ වේ.

මේ අයුරින් වසරකට Spinner Dolphin හෙවත් බඹර මුල්ලන් 5000 සිට 15000 දක්වා වූ ප්‍රමාණයක් විනාශ කෙරෙන බව ඇස්තමේන්තු කර ඇතැයි පරිසරවේදී ප්‍රසන්න වීරක්කොඩි මහතා පැවසීය.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම විනාශය මඟ හරවා, ඩොල්ෆින් ගහනය බහුල ඉසව් ප්‍රචලිත කිරීමෙන් මෙරට සංචාරක කර්මාන්තයට ජීව ගුණයක් එක් කළ හැකි බවය.

තල්මසුන් නැරඹීම ලෝකයේ ප්‍රචලිත හා ලාභදායී සංචාරක උපක්‍රමයකි. මෙතෙක් ශ්‍රී ලංකාවේ තල්මසුන් ගහන ඉසව්වක් ලෙස ත්‍රිකුණාමලය නම් දරා තිබිණි.

එහෙත් මේ වන විට දිවයිනේ වයඹ දෙසින් පිහිටි කල්පිටිය ආශ්‍රීත මුහුදු ප්‍රදේශය තල්මසුන් සහ ඩොල්ෆින් සතුන් අතිශයින් ගහන ඉසව්වක් ලෙස නැග එමින් තිබීම මෙරට සංචාරක කර්මාන්තයේ වාසියට හරවා ගැනීමේ ඉඩ ප්‍රස්ථා ජනිත කරන බව ද පරිසරවේදීහු පෙන්වා දෙති.

මෙරට මුහුදු සීමාවේ ගැවසෙන තල්මසුන් සහ ඩොල්ෆින් සතුන් නැරඹීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ධීවර අමාත්‍යාංශයේ ද දායකත්වය ඇතිව පසුගිය 20 වැනිදා දියත් කරනු ලැබුවේ එසේ සංචාරක කර්මාන්තයට නව පණක් දීමේ අරමුණ ඇතිවය.

එහි පළමු අදියර මිරිස්ස සහ පානදුර ධීවර වරාය ආශ්‍රිතව ක්‍රියාත්මක කෙරෙනු ඇත.

කෙසේ වුවද, එවැනි පියවර ක්‍රියාවට නැගීමේදී සිහි තබා ගත යුතු අතිශය වැදගත් කරුණක් ද වේ.

මිනිස් පහසින් ඈත්ව තිබීම හේතුවෙන්ම තල්මසුන් සහ ඩොල්ෆින් සතුන් ගැවසෙන මෙවැනි ආශ්වාදජනක ඉසව් දීර්ඝ කාලයක් පුරා සුරැකී පැවතිණි.

ඒ හෙයින්, ස්වභාවධර්මයේ අසිරිය විඳ ගැනීමට ඇති අයිතිය ප්‍රයෝජනයට ගත් පමණින් ස්වභාවධර්මයේ පැවැත්ම අසමතුලිත කිරීමට අපට අයිතියක් නැත.

එබැවින් මෙවන් ඩොල්ෆින් සතුන් දැක බලා ගැනීම පමණක් නොව මෙම මනස්කාන්ත පරිසර පද්ධති මතු පරපුරට ඉතිරි කිරීමට වග බලා ගැනීම අප සතු පරම යුතුකමකි.




වෙසක් අසිරිය
ඉදිරියේදී තද වැසි
රිය අනතුරකින් දෙදෙනෙක් මරුට
දින තුනට සුරාබදු වැටලීම් 1288 ක්
එජාප ඡන්ද අපේක්‍ෂකයකුගෙ නිවසට බෝම්බ ප්‍රහාරයක්
නැගෙනහිර පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව ගැටලුවක් වෙලා - රනිල්
පිල්ලෙයාන් දළදා වඳී
බටහිර රටවලට යදින්නේ නැහැ - අගමැති
වෙසක් සැමරීමට රට ම සැරසෙයි
මන්නාරමට අදත් ගුවන් ප්‍රහාර
වෙසක් උත්සවයට කොළඹට විශේෂ ආරක්ෂාව
තොරතුරු තාක්‍ෂණය ජනතාව අතට යැවීම අවශ්‍යයි - ජනාධිපති

මැයි 18 - තොරතුරු තාක්‍ෂණය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම යුගයේ අවශ්‍යතාවක් බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ ආබාධ සහිත දරුවන් අතට ද මෙම තාක්‍ෂණය පත් කළ හැකි නම් එය අනාගතය සඳහා කළ හැකි වැදගත් සේවයක් බවය

 
 
 
 
 
 
 
 
Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
Privacy Statment