Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
   
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රිය‌ා ඉහළට
ජූලි 19 - උතුරු මැද හා සබරගමු පළාත් සභා මැතිවරණයට අදාළ ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහාවූ ජනතා ව්‍යාපාරයේ මාධ්‍ය සම්බන්ධිකාරක කීර්ති තෙන්නකෝන් මහතා පැවසුවේ මේ වන විට ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබද සිද්ධි 23 ක් තම ආයතනය වෙත වාර්තාවී ඇති බවය.

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් සිද්ධි 12 ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් සිද්ධි 7 ක් , පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් සිද්ධි 3 ක් හා රත්නපුර දිස්ත්‍රික්කයෙන් එක් සිද්ධියක් වාර්තාවී තිබේ.

පළාත් මැතිවරණයට අදාළව ජනමාධ්‍යයට උපදෙස් මාලාවක්

ජූලි 18 - සබරගමුව හා උතුරු මැද පළාත් සභා මැතිවරණයට අදාළව ජනමාධ්‍ය ක්‍රියා කළයුතු ආකාරය පිළිබදව විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර තිබේ.

පසුගියදා පක්ෂ ලේකම්වරුන් සමග පැවති සාකච්ඡාවේදී ඔවුන් කළ ඉල්ලීමකට අනුව මෙම උපදෙස් මාලාව නිකුත් කෙරෙනු ඇත.

ඒ අනුව රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය මැතිවරණයට අදාළ තොරතුරු වාර්තාකරණයේදී සමබරතාව පිළිබදව සලකා බැලීම අත්‍යවශ්‍ය බව මැතිවරණ මහලේකම් කාර්යාලය පැවසීය.

උතුරු මැද මැතිවරණයට ආරක්ෂක භටයින් 8000ක්
ජූලි 17 - උතුරු මැද පළාතේ මැතිවරණ කටයුතුවල ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයින් 8000 ක් යොදවා ඇතැයි පොලිසිය පවසයි.

ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති කේ.පී.පී. පතිරණ මහතා පැවසුවේ, මැතිවරණය පැවැත්වෙන කාල සීමාව තුළදී අමතර නිලධාරීන් ද ප්‍රදේශයේ රාජකාරි සඳහා අනුයුක්ත කරන බවය.

මැතිවරණ කාල සීමාව තුළ විශේෂ ජංගම මුර සංචාර මෙන්ම මාර්ග බාධක ද ක්‍රියාත්මක කෙරෙනු ඇත.

මැතිවරණ නීති උල්ලංඝණය කරන්නට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස සියලු ම පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව ද ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

ඔහු සඳහන් ක‌ළේ, මේ වන විට මැතිවරණයට අදාළ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ පැමිණිලි 17 ක් ලැබී ඇති බවය.

ඉන් 15 ක් වාර්තා වී ඇත්තේ, අනුරාධපුර දිස්ත්‍රික්කයෙනි.

මේ අතර, උතුරු මැද පළාතෙන් තරග වදින අපේක්ෂකයින්ගේ කාර්යාල අසල හැර සෙසු ස්ථානවල පෝස්ටර් හා කටඅවුට් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව සබරගමුව ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති උපාලි හේවගේ මහතා ප්‍රකාශ කළේය.

රත්නපුර මහනගර සභාවේ තැපැල් ඡන්ද ප්‍රතික්ෂේපවේ
ජූලි 16 - සබරගමුව පළාත් සභා මැතිවරණයේදී තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රත්නපුර මහ නගර සභාවේ සේවකයින් ඉදිරිපත් කළ සියලු තැපැල් ඡන්ද අයදුම්පත් ප්‍රතික්ෂේප වී තිබේ.

රත්නපුර සහකාර මැතිවරණ කොමසාරිස් එම්.ඒ.පී.එස් පෙරේරා මහතා පැවසුවේ, පත් කරන ලද නිලධාරියා වෙනුවට වෙනත් පුද්ගලයෙකු අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් සහතික කර තිබීම ඒවා ප්‍රතික්ෂේප වීමට හේතුව බවය.

කිසියම් රාජ්‍ය ආයතනයක් විසින් නම් කරනු ලබන එක් නිලධාරියෙකුට මැතිවරණයකදී තැපැල් ඡන්ද අයදුම්පත් සහතික කිරීම සඳහා දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාගේ අනුමැතිය හිමිවේ.

ඒ අනුව රත්නපුර මහ නගර සභාවේ තැපැල් ඡන්ද අයදුම්පත් සහතික කිරීමට දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් එම්.ඒ.පී.එස්. පෙරේරා මහතා අනුමැතිය ලබා දී තිබෙන්නේ, එහි පරිපාලන නිලධාරීවරයාටය.

එහෙත් රත්නපුර මහ නගර සභාවේ සියලු ම තැපැල් ඡන්ද අයදුම්පත් අනුමත කර තිබෙන්නේ, නාගරික කොමසාරිස්වරයා විසිනි.

එම නිසා ඉදිරිපත් කර තිබූ තැපැල් ඡන්ද අයදුම්පත් 46 ම ප්‍රතික්ෂේප කළ බව දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ඔහු පැවසුවේ, මැතිවරණ රාජකාරී සඳහා සහභාගී වන නිලධාරින් 34 දෙනෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට පහසු වන පරිදි ඔවුන් මැතිවරණ රාජකාරිවල යෙදවීමට ක්‍රියා කරන බවය.

තැපැල් ඡන්දය අගෝස්තු 7, 8
ජූලි 15 - උතුරු මැද සහ සබරගමුව පළාත් සභාවල තැපැල් ඡන්දය අගෝස්තු 7 සහ 8 යන දෙදින පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර තිබේ.

අතිරේක මැතිවරණ කොමසාරිස් ඩබ්ලිව්. පී. සුමනසිරි මහතා පැවසුවේ, ඊට අදාළ ඡන්ද පත්‍රිකා ලබන 28 වනදා නිකුත් කරන බවය.

මැ. කොමසාරිස් තේරීම් භාර නිලධාරින් හමුවෙයි
ජූලි 15 - මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා අද පෙරවරුවේ පළාත් සභා මැතිවරණය පැවැත්වෙන දිස්ත්‍රික් හතරෙහි තේරීම් භාර නිලධාරින් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් හමුවිය.

නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ, මැතිවරණය පැවැත්වෙන ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡාවූ බවය.

මැතිවරණ කොමසාරිස්වරයා සහ මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර ඊයේ පැවති හමුවේදී පැනනැගුණු ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බව මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

ඊට අමතරව මැතිවරණ නීති තදින් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අවධානය යොමුකර තිබේ.

නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ, මෙම සාකච්ඡාවේදී මැතිවරණයට අදාළ උපදෙස් තේරීම් භාර නිලධාරින්ට සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ට ලබාදුන් බවය.

තාවකාලික හැඳුනුම්පතින් ඡන්ද දූෂණ බහුලයි - කැෆේ

ජූලි 15 - තාවකාලික හැඳුනුම්පත් මගින් මැතිවරණවලදී ඡන්ද දුෂණ සිදුවීම සුලබ බව කැෆේ හෙවත් සාධාරණ මැතිවරණයක් උදෙසාවූ ජනතා ව්‍යාපාරය පැවසීය.

එහි මාධ්‍ය ප්‍රකාශක කීර්ති තෙන්නකෝන් මහතා පැවසුවේ, මෙවර තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම සදහා වඩා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා ගෙන ඇති තීරණය ඉතා යහපත් ප්‍රවණතාවක් බවය.

මැ. කොමසාරිස් දේශපාලන පක්ෂ නියෝජිතයින් හමුවෙයි
ජූලි 14 - මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලන පක්ෂවල නියෝජිතයින් අද හමුවිය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක නියෝජිතයෝ මීට එක්ව සිටියහ.

පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිහු ද මේ සාකච්ඡා සඳහා සහභාගි වූහ.

සහකාර මැතිවරණ කොමසාරිස් ඩබ්ලිව්. පී. සුමනසිරි මහතා සඳහන් කළේ, මැතිවරණ නීති පිළිබඳව මෙහිදී පක්ෂ නියෝජිතයින් දැනුවත් කළ බවය.

මැතිවරණ ආරක්ෂාව ද සාකච්ඡාවට ලක්වූ ප්‍රධාන කරුණකි.

සාකච්ඡා සඳහා සහභාගි වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසුවේ, ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය විධිවිධාන යොදන ලෙසට මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි බවය.

රජයේ දේපළ හා වාහන මැතිවරණ කටයුතුවලට යොදා ගැනීම සම්බන්යෙන් දැඩි පියවර ගන්නා ලෙස මැතිරවණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි බව ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ඩලස් අලහප්පෙරුම හා ඩිලාන් පෙරේරා යන අමාත්‍යවරු මේ සාකච්ඡාවට සහභාගි වූහ.

පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 19ක්
ජූලි 13 - උතුරු මැද හා සබරගමු පළාත් සභා මැතිවරණයට අදාළව මේ වන විට ප්‍රචණ්ඩ ක්‍රියා 19 ක් වාර්තාවී ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක කීර්ති තෙන්නකෝන් මහතා පැවසුවේ, ඉන් වැඩි සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් බවය.

එම සංඛ්‍යාව 10 කි.

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා 6 ක් වාර්තා වී තිබේ.

මීට අමතරව පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් දෙකක් හා රත්නපුර දිස්ත්‍රික්කයෙන් එකක් වාර්තා වී ඇති බව කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, මින් පැමිණිලි 18 ක් ම එක්සත් ජනතා නිදහස් සන්ධානයට එරෙහිව ලැබී ඇති බවය.

එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ද එක් පැමිණිල්ලක් ලැබී තිබේ.

බීමතින් තැබූ වෙඩි පහරින් අයෙකු මරුට
ජූලි 13 - මාවනැල්ල ප්‍රදේශයේ පක්ෂ කාර්යාලයක් තුළදී වෙඩි වැදීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රංජිත් ගුණසේකර මහතා පැවසුවේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් මාවනැල්ල ගලඅතර හුණුගලහේන ප්‍රදේශයේ පක්ෂ කාර්යාලයක් තුළදී මෙම අනතුර සිදුව ඇති බවය.

එම කාර්යාලයට ඊයේ රාත්‍රී පුද්ගලයින් කිහිප දෙනෙකු රැස්ව ඇති අතර ඔවුන් බීමත්ව සිට ඇතැයි පොලිසිය සඳහන් කළේය.

ඒ අවස්ථාවේ ඔවුන්ගෙන් එක් අයෙකු අත තිබූ ගල්කටස් වර්ගයේ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් මෙම මරණය සිදුවී ඇති බව ගුණසේකර මහතා පැවසීය.

ඔහු සඳහන් කළේ, අදාළ සැකකරු හමුදාවෙන් පලා ආ අයෙකු බවට තොරතුරු පවතින බවය.

මියගොස් ඇත්තේ, මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි පැතුම් ශ්‍යාමන් බණ්ඩාර නමැති 19 හැවිරිදි තරුණයෙකි.

ගිනි අවිය අතැතිව තිබූ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකය.

මේ සම්බන්ධයෙන් දැනට පුද්ගලයන් දෙදෙනකු සැකපිට පොලිස් භාරයට ගෙන තිබේ.

පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යයි

ජූලි 12 - පළාත් සභා මැතිවරණය පැවැත්වෙන සෙසු ප්‍රදේශ හා සැළකීමේදී අනුරාධපුරය අවට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාමක් පෙන්නුම් කරන බව කැෆේ හෙවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක කීර්ති තෙන්නකෝන් මහතා පැවසුවේ, අදාළ ප්‍රදේශය තුළ ප්‍රචණ්ඩ ක්‍රියා සංවිධානාත්මකව සිදුවන බවට තොරතුරු ලැබී ඇති බවය.

ඉදිරි පළාත් සභා මැතිවරණයට අදාළව වාර්තා වී ඇති පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

පළාත් සභා මැතිවරණයට තරග කරන ඇතැම් අපේක්ෂකයින්ට ලබාදී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව ද කැෆේ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නේය.

රාජ්‍ය ආයතන තුළ මැතිවරණ ප්‍රචාරක පුවරු තහනම්
ජූලි 10 - රාජ්‍ය ආයතනවල ප්‍රදර්ශනයට තබා ඇති මැතිවරණ ප්‍රචාරක පුවරු සහ දැන්වීම් වහාම ඉවත් කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා උතුරු මැද හා සබරගමුව පළාත් ‌තේරිම්භාර නිලධාරින් වෙත උපදෙස් දී ඇත.

මෙවර අදාළ පළාත්වල රාජ්‍ය ආයතන බොහොමයක නීති විරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරක පුවරු ප්‍රදර්ශනයේ තබා ඇති බවට මැතිවරණ මහලේකම් කාර්යාලයට පැමිණිලි ලැබී තිබේ.

මෙම තත්ත්වය අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දැඩි ලෙස දැකිය හැකි බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පැවසීය.

ඒ අනුව, රාජ්‍ය සේවකයින් යොදවා අදාළ රාජ්‍ය ආයතන පරිශ්‍ර මෙන් ම එම භුමිවල ඇති ප්‍රචාරක පුවරු ඉවත් කිරීමට නියමිතය.

1988 පළාත් සභා සංශෝධිත පනතට අනුව මෙලෙස රාජ්‍ය ආයතනවල මැතිවරණ ප්‍රචාරක පුවරු ප්‍රදර්ශනය කිරිම සපුරා තහනම් බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

මේ අතර, තැපැල් ඡන්ද අයදුම් කිරිම සඳහා රාජ්‍ය සේවකයින්ට ලබා දී තිබූ කාලය අද පස්වරුවේ අවසන් විය.

තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරි දින දෙක ඇතුළත මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත ලැබෙනු ඇති බව මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේය.

අනුරපුර ජවිපෙ කාර්යාලයට ප්‍රහාරයක්

ජූලි 08 - ජනතා විමුක්ති පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයට ඊයේ රාත්‍රියේ ප්‍රහාරයක් එල්ල විය.

අනුරාධපුර පොලිසියේ මැතිවරණ කටයුතු පිළිබද අංශයේ ස්ථානාධිපති ප්‍රියදර්ශන හේරත් මහතා පැවසුවේ ඊයේ රාත්‍රි 11.30 ට පමණ සුදුපැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් කාර්යාලයේ දොර කඩා එහි සිටි පුද්ගලයකුට තර්ජනය කර ඇති බවය.

මේ පිළිබදව ජනතා විමුක්ති පෙරමුණ අද අලුයම නුරාධපුර පොලිසියට පැමිණිලි කර තිබේ.

කාර්යාලයේ සිටි පුද්ගලයකුගෙන් මේ වනවිට ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව ද පොලිසිය පැවසීය.

ඔහු පොලිසියට පවසා තිබෙන්නේ, කාර්යාලයට කඩා වැදුණු පිරිස් තම හිසට පිස්තෝලයක් තබා දේශපාලන කටයුතුවලින් ඉවත් වන ලෙස තර්ජනය කළ බවය.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 11 ක්
ජූලි 08 - උතුරු මැද සහ සබරගමුව පළාත් සභා මැතිවරණයට අදාළව පුර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 11 ක් වාර්තා වී ඇතැයි කැෆේ හෙවත් සාධාරණ මැතිවරණයක් සදහා වු ජනතා ව්‍යාපාරය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දෙන පරිදි වැඩිම ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙනි.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලට ප්‍රධාන හේතුවක් වන බැනර්, පුවරු ප්‍රදර්ශනය කිරීම සබරගමුව සහ උතුරුමැද පළාත්වල වැඩි වශයෙන් දක්නට ලැබෙන අතර ඒවා ඉවත් කිරීමට පොලිසිය මෙතෙක් ක්‍රියාකර නොමැති බව ද ඔහු පවසයි.

මේ පිළිබදව කළ විමසීමකදී මැතිවරණ කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා ප්‍රකාශ කළේ පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි, පෝස්ටර් සහ පුවරු ඉවත් කරන ලෙස අදාළ පළාත්වල පොලිස් ස්ථාන වෙත නියෝග කර ඇති බවය.

පළාත් මැතිවරණයේ මනාප අංක සූදානම්

ජූලි 07 - උතුරු මැද හා සබරගමුව පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ට අද මනාප අංක නිකුත් කෙරේ.

නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ, මේ වන විට අදාළ අපේක්ෂක ලැයිස්තු මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත ලැබී ඇති බවය.

මේ වන විට අදාළ මනාප අංක සකස් කොට අවසන් පරීක්ෂාවට ලක්කරමින් ඇති බව ඔහු පැවසීය.

ඒ අනුව, අද මධ්‍යම රාත්‍රියේ මනාප අංක ගැසට් මගින් ප්‍රකාශයට පත්කරනු ඇත.

හෙට පෙරවරුවේ සිට අදාළ අපේක්ෂකයින්ට සිය මනාප අංක තමන් තරග කරන දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිළධාරිවරයාගෙන් ලබාගත හැකි බව ද නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

මැතිවරණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක්
ජූලි 06 - උතුරු මැද සහ සබරගමු පළාත් සභා මැතිවරණ කටයුතු පිළීබඳ විශේෂ සාකච්ඡාවක් අද මතිවරණ මහ ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.

නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ අනුරාධපුර, පොලොන්නරුව, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් බලධාරීන් සහ අදාළ දිස්ත්‍රික්කයන්හි සහකාර මැතිවරණ කොමසාරිස් වරුන් මෙම සාකච්ඡාවට සහභාගී වීමට නියමිත බවය.

මැතිවරණ අක්‍රමිකතා වළක්වා ගැනිම ඇතුළු කරුණු මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත.

මේ අතර ඡන්ද ගණන් කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය නිලධාරීන් සපයා ගනීමට, දිස්ත්‍රික් මට්ටමෙන් නිලධාරී සංගණනයක් පැවැත්වීමට පියවර ගෙන ඇතැයි ද නියොජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා පැවසුවේය.

අවශ්‍ය වුවහොත් කොළඹ දිස්ත්‍රික්කයේ ද සංගණනයක් කර අවශ්‍ය නිලධාරීන් සපයා ගැනීමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පළාත් මැතිවරණය අගෝස්තු 23 වැනිදා

ජූලි 04 - උතුරු මැද හා සබරගමුව පළාත් සභා මැතිවරණය අගෝස්තු මස 23 වැනිදා පැවැත්වීමට මැතිවරණ මහලේකම් කාර්යාලය තීරණය කර තිබේ.

අදාළ පළාත් සභා මැතිවරණය සදහා නාමයෝජනා භාර ගැනීම අද මධ්‍යහ්න 12 ට අවසන් විය.

උතුරු මැද පළාත් සභාව වෙනුවෙන් නාමයෝජනා පත්‍ර 21 ක් ඉදිරිපත් වූ අතර, ඉන් 2 ක් ප්‍රතික්ෂේප විණ.

දිස්ත්‍රික් ලේකම් එච්.එම්.කේ. හේරත් මහතා පැවසුවේ, එක්සත් ලංකා මහ සභාව සහ ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර අවලංගු වූ බවය.

අනුරාධපුර දිස්ත්‍රික්කය සදහා දේශපාලන පක්ෂ 12 ක් සහ ස්වාධීන කණ්ඩායම් 7 ක් තරග වැදීමට නියමිතය.

මේ අතර, පොළොන්නරුව දිස්ත්‍රික්කය වෙනුවෙන් රුහුණු ජනතා පක්ෂය ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වු බව දිස්ත්‍රික් ලේකම් රංජිත් විජේතිලක මහතා ප්‍රකාශ කළේය.

පොළොන්නරුව දිස්ත්‍රික්කය සදහා දේශපාලන පක්ෂ 10 ක් සහ ස්වාධීන කණ්ඩායම් 8 ක් තරග වැදීමට නියමිතය.

රත්නපුර දිස්ත්‍රික්කයට නාමයෝජනා 23 ක් ඉදිරිපත් ව ඇති අතර, ඉන් ස්වාධීන කණ්ඩායම් 2 ක නාමයෝජනා ප්‍රතික්ෂේප විණ.

කෑගල්ල දිස්ත්‍රික්කය සදහා දේශපාලන පක්ෂ 11 ක් සහ ස්වාධීන කණ්ඩායම් 10 ක් තරග වදී.

කෑගල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් කදුරට ජනතා පෙරමුණ සහ ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.

පළාත් සභා මැතිවරණයට නාම යෝජනා භාර දෙයි
ජූලි 04 - උතුරු මැද සහ සබරගමුව පළාත් සභා මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 න් අවසන් විය.

ප්‍රධාන දේශපාලන පක්ෂවල ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකයෝ උතුරු මැද පළාත් සභාව සදහා අද නාමයෝජනා භාරදුන්හ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් නාම යෝජනා භාරදුන්නේ උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාය.

මේ අතර එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය අපේක්ෂක මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා නාමයෝජනා භාරදුන්නේය.

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් නාම යෝජනා භාරදුන්නේ වසන්ත සමරසිංහ මහතාය.

නාම යෝජනා භාර ගැනීම අදින් අවසන්
ජූලි 4 - උතුරු මැද හා සබරගමුව පළාත්සභා මැතිවරණවලට අදාළ නාම යෝජනා භාර ගැනීම අද මධ්‍යහ්නයෙන් අවසන් වේ.

නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ පළාත් සභා මැතිවරණ නීතියට අනුව නාම යෝජනා සදහා විරෝධතා ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් නොදෙන බවය.

නාම යෝජනා කැදවීමෙන් අනතුරුව අදාළ තේරිම්භාර නිලධාරීවරුන් නාම යෝජනා පරික්ෂා කර සම්පුර්ණ නොවූ හා අඩුපාඩු සහිත නාම යෝජනා පත්‍ර ඉවත් කිරීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

මේ අතර නාම යෝජනා භාරගන්නා අවසන් දිනය වන අද අනුරාධපුර නගරය තුළ පිහිටි පාසල් 10 ක් වසා තැබීමට තීරණය කර ඇතැයි දිස්ත්‍රික් ලේකම් එච්.එම්.කේ හේරත් මහතා පැවසීය.

පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් විජේතිලක මහතා පැවසුවේ අද දිනය තුළ ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බවය.

රත්නපුර දිස්ත්‍රික්කයේ ද නාම යෝජනා භාර ගැනීමේ කටයුතු බාධාවකින් ‌තොරව පවත්වා ගෙනයාම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව දිස්ත්‍රික් ලේකම් මාලනි ප්‍රේමරත්න මහත්මිය ප්‍රකාශ කළාය.

ස්වාධීන කණ්ඩායම්වලට ඇප මුදල් බැඳීමට දුන් කාලය අවසන්

ජූලි 03 - උතුරු මැද හා සබරගමුව පළාත් සභා මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම්වලට ඇප මුදල් තැන්පත් කිරීමට ලබා දී තිබූ කාලය අද මධ්‍යහ්න 12 න් අවසන් විය.

ඒ අනුව, දිස්ත්‍රික් 4 ක් සඳහා ස්වාධීන කණ්ඩායම් 39 ක් ඇප මුදල් තැන්පත් කළ බව දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරිවරු පැවසූහ.

ස්වාධීන කණ්ඩායම් වැඩි සංඛ්‍යාවක් ඇප මුදල් තැන්පත් කර ඇත්තේ, කෑගල්ල දිස්ත්‍රික්කය සඳහාය.

එම සංඛ්‍යාව 12 කි.

රත්නපුර දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායම් 11 ක් ඇප මුදල් තැන්පත් කර තිබේ.

පොළොන්නරුව හා අනුරාධපුර දිස්ත්‍රික් සඳහා ස්වාධීන කණ්ඩායම් 8 බැගින් නාම යෝජනා තැන්පත් කර ඇති බව අදාළ දිස්ත්‍රික්වල තේරිම් භාර නිලධාරිවරු පැවසූහ.

උතුරු මැද විපක්ෂනායකගේ ආධාරකරුවන්ට ප්‍රහාරයක්

ජූලි 02 - උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක ආර්.ඩී. අබේසිංහ මහතාගේ ආධාරකරුවන් පිරිසකට අද අලුයම කැකිරාව නගරයේදී මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.

අබේසිංහ මහතා ප්‍රකාශ කළේ, ඔවුන් තම මෝටර් රථයට ද හානි සිදු කර ඇති බවය.

උතුරු මැද පළාත් හිටපු අමාත්‍ය ගමගේ වීරසේන මහතා පැවසුවේ, මෙම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවය.

මෙම සිද්ධිය පිළිබඳව පරික්ෂණ ආරම්භ කර ඇති බව කැකිරාව පොලිසිය පැවසීය.

අයවැයට විරුද්ධ වීමට එජාපය තීරණය කරයි
බස් ගාස්තු අඩු කිරීමට රජයේ අවධානය
අයවැය හිඟය රුපියල් බිලියන 336.67
අක්කරායන්කුලම් සම්පූර්ණයෙන්ම හමුදාව අතේ
අනුරාධපුර බෝම්බ ප්‍රහාරය සම්බන්ධ පෙත්සමක්
ශ්‍රී ලංකාවේ 62 වන අයවැය
එල්.ටී.ටී.ඊ. ඉලක්කයකට ගුවන් ප්‍රහාර
අද සිට ඉන්ධන මිල අඩු කෙරේ
රාජ්‍ය සේවක ජීවන වියදම් දීමනාව වැඩිකිරීමට යෝජනා
ඉන්ධන මිල අඩු කිරීමට යෝජනා කෙරේ
වැට් බද්ද 12%ට අඩු කිරීමට යෝජනා
'මිහින් ලංකා' වෙනුවෙන් රු. මිලියන 6000ක්
 
 
 
 
 
 
Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
Privacy Statment