මාර්.05- පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුගේ ආරක්ෂාව සදහා පොලිස් නිලධාරින් 4 දෙනා බැගින් හෝ ලබාදෙන ලෙස අගවිනිසුරු අශෝක එන් ද සිල්වා මහතා රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ විවේකා සිරිවර්ධන මහත්මියට අද දැනුම් දී තිබේ.
ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සදහා යොදා සිටි පොලිස් නිලධාරින් ඉවත් කර ගැනිමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයදී සලකා බැලු අවස්ථාවේදිය.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 18 දෙනෙකු වෙනුවෙන් අදාළ පෙත්සම ගොනු කරනු ලැබ තිබිණ.
පෙත්සම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ තිලක් මාරපන මහතා අධිකරණය හමුවේ පැවසුවේ, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්පුර්ණයෙන් ඉවත් කර ඇති බවය.
එහෙත් ඔවුනට ඇති තර්ජන තවමත් ඒ ආකාරයෙන්ම පවතින බව ජනාධිපති නිතිඥවරයා පැවසීය.
ඔහු ප්‍රකාශ කළේ, රජයේ අමාත්‍යවරුන්ගේ ආරක්ෂක නිලධාරින් ඉවත් නොකර විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව පමණක් ඉවත් කිරිම මගින් මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් වන බවය.
ජනාධිපතිවරයාගේ නියෝගයෙන් මාර්තු 09 වෙනිදා යළි පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී ඒ පිළිබදව විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීමට නියමිත බව ද තිලක් මාරපන මහතා වැඩිදුරටත් පැවසීය.
එහි දී අදාළ කරුණු පිළිබඳව විසදුමකට එළැඹිමට නොහැකි වුවහොත් ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරිමට අවස්ථාව දෙන ලෙසද මාරපන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඒ සදහා මාර්තු මස 16 වෙනි දින තෙක් කල් ලබා දී තිබේ.














