ජූලි.30- සියත රුපවාහිනි සහ ගුවන්විදුලි ආයතන පවත්වාගෙන යන කොළඹ හුණුපිටියේ පිහිටි වොයිස් ඔෆ් ඒෂියා ආයතනයේ අද අලුයම ගින්නක් හටගෙන තිබේ.
පොලිසිය පැවසුවේ අද අලුයම 1 යි 20 ට පමණ එම ගින්න හටගෙන ඇති බවය.සිද්ධියෙන් සියත රූපවාහිනි සේවා පවත්වාගෙන යන ගොඩනැගිල්ලට සහ ගුවන් විදුලි සේවා පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ මහල් දෙකකට දැඩි හානි සිදුවී ඇති බව සියත රූපවාහිනියේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අජාස් සෆීක් මහතා සදහන් කළේය.
සිද්ධිය සැලවීමත් සමග කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ රථ සියත ගොඩනැගිල්ල වෙත ලගා වී ගින්න මැඩපැවැත්වීමට පියවරගත් බව එහි අංශභාර නිලධාරී පී.දුම්දුරත්න මහතා පැවසීය.
සිද්ධියෙන් තුවාල ලැබූ දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට රැගෙන ආ අතර ඔවුන්ගෙන් එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා නතරකර ගත් බව එහි හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රශාද් ආරියවංශ මහතා සදහන් කළේය.
වොයිස් ඔෆ් ඒෂියා ආයතනයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇතැයි කොළඹ ප්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පති එච්.එම්.ඩී. හේරත් මහතා පැවසීය.
ඔහු පැවසුවේ ආයුධ සන්නද්ධ කණ්ඩායමක් පැමිණි බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර ඇති බවය.














