Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
   
 
 
අපේ ලේඛකයෙකුගේ කෘතියක් සිංගප්පූරු සාහිත්‍ය සම්මානයට නිර්දේශ වෙයි

සැප්. 30 - 2008 වසරේ සිංගප්පූරු සාහිත්‍ය සම්මානය වෙනුවෙන් ශ්‍රී ලාංකික ලේඛකයෙකුගේ ග්‍රන්ථයක් නිර්දේශ වී තිබේ.

කපිතාන් එල්මෝ ජයවර්ධන මහතා විසින් රචනා කරන ලද 'රේන්බෝස් ඉන් බ්‍රේල්' (Rainbows in Braille) නමැති ග්‍රන්ථය එම සම්මානය වෙනුවෙන් නිර්දේශ වී ඇත.

මෙම ග්‍රන්ථය කෙටිකතා 19කින් සමන්විතය.

අදාළ කෘතිය නිර්දේශ වී ඇත්තේ, ඉංග්‍රීසි බසින් රචනා කරන ලද ග්‍රන්ථ සඳහා වන කාණ්ඩය යටතේය.

එම කාණ්ඩයට විවිධ රටවල ලේඛකයින්ගේ ග්‍රන්ථ 5ක් නිර්දේශ වී තිබේ.

වෘත්තියෙන් උපදේශක ගුවන් නියමුවෙකු (කපිතාන්වරයෙකු) ලෙස සේවය කළ එල්මෝ ජයවර්ධන මහතා 2001 වර්ෂයේදී, ශ්‍රී ලංකාවේ ලේඛකයින් ඉංග්‍රීසි බසින් පළ කළ කෘති සඳහා පිරිනැමෙන ග්‍රේෂන් සම්මානය ද (Gratiaen award) දිනා ගැනීමට සමත් විය.

ඒ, ඔහු රචනා කළ 'සෑම්ස් ස්ටෝරි' (Sam's Story) නම් කෘතිය වෙනුවෙනි.

ඔහු රචනා කළ 'ද ලාස්ට් කින්ඩම් ඔෆ් සිංහලේ' (The Last Kingdom of Sinhalay) නමැති දෙවන නව කතාව 2005 වර්ෂයේ රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.

'ස්වයංජාත' ස්වර්ණ පුස්ථක සම්මානය දිනයි

සැප්. 20 - සමරවීර විජේසිංහ විසින් රචිත 'ස්වයංජාත' කෘතිය, මෙවර ස්වර්ණ පුස්ථක
සම්මානය දිනා ගැනීමට සමත්විය.

පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන ස්වර්ණ පුස්ථක සම්මාන
උළෙල ඊයේ (සැප්. 19) බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී
පැවැත්විණි.

ස්වයංජාත කෘතියට අමතරව සම්මාන ප්‍රදානය සඳහා නිරිදේශ වූයේ සුබෝධාලංකාරය,
බත්තලංගුණ්ඩුව, අටවකපුත්තු සහ සීරුමාරු යන ග්‍රන්ථයන්ය.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හෙට

සැප්. 19 - වසරේ දැවැන්තම පොත් ප්‍රදර්ශනය වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හෙට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වේ.

සාහිත්‍ය මාසය වෙනුවෙන් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 28 වනදා දක්වා පැවැත්වේ.

සැප්තැම්බර් 20 සිට 28 දක්වා වූ දිනයන්හි පෙ.ව. 9.30 සිට ප.ව. 9.00 දක්වා ප්‍රදර්ශනය මහජනතාව සඳහා විවෘතව පවතී.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සහ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන සංකීර්ණයේදී දේශීය හා විදේශීය පොත් ප්‍රකාශන ආයතන රැසක් මෙවර ද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා සහභාගි වේ.

කියවීමේ මාසය වෙනුවෙන් තරග රැසක්

සැප්. 15 - 2008 වසරේ ජාතික කියවීමේ මාසය ලෙස නම් කර ඇති ඔක්තෝබර් මාසය තුළ විවෘත හා පාසල් නිර්මාණ තරග රැසක් පැවැත්වීමට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය කටයුතු යොදා ඇත.

කියවීම, තොරතුරු ගවේෂණය පිරිපුන් සමාජයක මූලික ලක්ෂණයකි. එමගින් බුද්ධිමත් විශිෂ්ට සමාජයක් ගොඩනැගීම අරමුණ කරගනිමින් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය, 2008 ඔක්තෝබර් මාසය ජාතික කියවීමේ මාසය ලෙස නම් කර ඇත.

මෙම තරගාවලියට අයත් පෝස්ටර් තරගය "පොත පත කියවා විශ්වය ජය ගනිමු", "කියවීම ජීවිතයට ආලෝකයකි", "අද පාඨකයෙක් හෙට නායකයෙක්" යන තේමා යටතේ පැවැත්වෙන අතර එය විවෘත හා පාසල් යනුවෙන් කොටස් දෙකකින් පැවැත්වේ. පාසල් තරගය කාණ්ඩ දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර පළමු කාණ්ඩයට 6 සිට 10 ශ්‍රේණි ද දෙවන කාණ්ඩයට 11 සිට 13 ශ්‍රේණි ද අයත් වේ.

විවෘත තරගයක් වන ඡායාරූප තරගය "කියවීම හා තොරතුරු ගවේෂණය" යන තේමාව යටතේ පැවැත්වේ.

කෙටි කතා තරගය පාසල් ළමුන් සඳහා පමණකි. කෙටි කතා තරගය කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර පළමු කාණ්ඩයට 8 සිට 11 ශ්‍රේණි ද දෙවන කාණ්ඩයට 12 සිට 13 ශ්‍රේණි ද අයත් වේ. සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් කෙටි කතා නිර්මාණය කළ හැකිය.

රචනා තරගය ද පාසල් ළමුන් සඳහා වන අතර එය කාණ්ඩ තුනක් යටතේ පැවැත්වේ. පළමු කාණ්ඩයට 6-8 ශ්‍රේණි ද දෙවන කාණ්ඩයට 9-11 ශ්‍රේණි ද තෙවන කාණ්ඩයට 12-13 ශ්‍රේණි ද අයත් වේ. භාෂා මාධ්‍ය වශයෙන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා යොදා ගත හැකිය.

සියලු තරග ජයග්‍රාහකයින් සඳහා මුදල් ත්‍යාග සමගින් කුසලාන පිරිනැමීමට සංවිධායකයින් බලාපොරොත්තුවේ.

නිර්මාණ භාර ගන්නා අවසන් දිනය සැප්තරම්බර් 30 වන අතර තරග පිළිබඳ වැඩිදුර තොරතුරු ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයෙන් ලබා ගත හැකිය.

ගොඩගේ සාහිත්‍ය සම්මාන දිනූ ලේඛකයෝ
සැප්. 14 - දස වන ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙල පසුගිය 11 වනදා බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ.

එහිදී සම්මාන හිමි කර ගත් ලේඛකයින් සහ ග්‍රන්ථ මෙසේය.

හොඳම නව කථාව - බත්තලංගුණ්ඩුව (මංජුල වෙඩිවර්ධන)

හොඳම කෙටි කථා සංග්‍රහය - ගොළු (රාජා කරුණාදාස)

හොඳම කාව්‍ය සංග්‍රහය - යටි වියන (එල්. අතුකෝරළ)

හොඳම යොවුන් සාහිත්‍යය - යාපනයෙන් කතරගමට (ගුණසේකර ගුණසෝම)

ස්වර්ණ පුස්ථක සම්මානය

සැප්. 11 - පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් පිරිනමනු ලබන "ස්වර්ණ පුස්ථක" සම්මාන උළෙල මෙවරත් උත්සවාකාරයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සුබෝධාලංකාරය, බත්තලංගුණ්ඩුව, අටවකපුත්තු, ස්වයංජාත සහ සීරුමාරු යන ග්‍රන්ථ මෙවර සම්මාන ප්‍රදානය නිරිදේශවී ඇත.

උක්ත සම්මාන ප්‍රදානය සඳහා ග්‍රන්ථ නිරිදේශ කරනු ලබන්නේ මහාචාර්ය තිස්ස කාරියවසම් මහත‌ා ප්‍රමුඛ විනිශ්චය මණ්ඩලයක් විසිනි.

මින් ප්‍රථම ස්ථානය දිනා ගන්නා ග්‍රන්ථය සඳහා මුදලින් රුපියල් ලක්ෂ 5ක් ද පිරිනැමෙන අතර අනෙක් ග්‍රන්ථ සඳහා රුපියල් 50,000 බැගින් පිරිනැමේ.

මෙම සම්මාන ප්‍රදානෝත්සවය සැප්තැම්බර් මස 19වන දින පස්වරු 6.00ට බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

ගොඩගේ සම්මාන උළෙල අද

සැප්. 11 - දස වන ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙල අද සවස 3.00ට බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වේ.

සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර මහතා මෙම උළෙලේ මුලසුන හොබවන අතර ප්‍රධාන දේශනය මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි මහතා ගෙනි. ගරු කථානායක වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා විශේෂ අමුත්තා වශයෙන් සහභාගි වේ.

2007 වසරේ පළවූ ප්‍රශස්ථ නවකථාව, කෙටිකතා සංග්‍රහය, කාව්‍ය සංග්‍රහය, යොවුන් සාහිත්‍ය කෘතිය සහ සිංහල භාෂා කෘතිය සඳහා මෙහිදී මුදලින් රුපියල් 50,000.00 බැගින් වන මුදල් ත්‍යාග, සම්මාන තිළිණ සමග සහතිකපත් පිරිනැමීමට නියමිතය.

එසේම නවකථා, කෙටිකතා සහ කාව්‍ය යන ක්ෂේත්‍රයන්හි කුසලතා දැක්වූ නවකයින් තිදෙනෙකුට සම්මාන, සහතිකපත් හා ත්‍යාග පිරිනැමේ.

මහාචාර්ය සිරි ගුණසිංහයන් සාහිත්‍ය ක්ෂේත්‍රයට කරන ලද මෙහෙවර වෙනුවෙන් මෙවර ඒ මහතාට "දිවමන් ප්‍රණාම" සම්මානය පිරිනැමීමට නියමිතය.

එසේම සාහිත්‍ය උළෙලට සමගාමීව 2008 වසරේ පළවූ අභිනව ගොඩගේ ප්‍රකාශන හා නැවත මුද්‍රණ 500ක් අදාළ ලේඛක ලේඛිකාවන්ට උපහාර පිණිස පිළිගන්වනු ලැබේ.

ජාතික සාහිත්‍ය කලා මහෝත්සවය අද

සැප්. 11- 2008 ජාතික සාහිත්‍ය කලා මහෝත්සවය අද මාතර, කඹුරුපිටියේ නාරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේදී ආරම්භ වේ.

සැප්තැම්බර් මස 14 වනදා තෙක් පැවැත්වෙන ජාතික සාහිත්‍ය කලා මහෝත්සව‌යේදී විවිධ කලා අංගයන් රැසක් ඉදිරිපත් කිරීමට නියමිතය.

සංස්කෘතික අමාත්‍යංශය යටතේ ඇති ප්‍රදේශීය සංස්කෘතික මධ්‍යස්ථානවල නර්තන ශිල්පීන් 3000ක පමණ සහභාගිත්වයෙන් පැවැත්වෙන නර්තන පෙරහැර ඒ අතර ප්‍රධාන වේ.

එසේම උත්සවය පැවැත්වෙන දින 4 තුළ රාත්‍රී 10.00 සිට පසුදා පහන් වන තුරු හෙළදිව පැරණිම නැටුම ලෙස සැලකෙන ශාන්ති කර්ම සම්බන්ධ නර්තන අයත් ශාන්ති කර්ම වැඩසටහන් ද සංවිධානය කර ඇත.

මෙම කලා උළෙලේදී මාතර දිස්ත්‍රික්කයට ආවේණික ජනශ්‍රැති එක්රැස් කර කෘතියක් ද නිර්මාණය කරන අතර "මාතර වංශ කථාව" නමින් මාතර දිස්ත්‍රික්කයෙන් බිහිවූ කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ ලිපි එකතුවක් ද එළි දැක්වීමට නියමිතය.

සංස්කෘතිය පෝෂණය කිරීම උදෙසා නන්විධ කලාවන්ගෙන් දායක වූ විශිෂ්ටතම කලාකරුවන් සිව්දෙනෙකුට සම්මාන පිරිනැමීමට ද කටයුතු යොදා ඇත. එමෙන්ම සිංහල, දෙමළ, මුස්ලිම් ජන වර්ග නියෝජනය වන පරිදි ලේඛකයන් 05 දෙනෙකුට "දේශ නේතෘ සම්මාන" පිරිනැමීමට ද අපේක්ෂිත ය.

එසේම උත්සව භූමිය තුළ වෙළඳ ප්‍රදර්ශන කුටි සහ දේශීය කලාත්මක භාණ්ඩ අලෙවි කුටි 200 පමණ පැවැත්වෙන අතර පොත් ප්‍රකාශන ආයතනවල ප්‍රදර්ශන කුටි ද ඉදි කර ඇත.

සාහිත්‍ය රත්න සම්මානය

සැප්. 10 - මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා විශිෂ්ට සේවයක් කරනු ලැබූ සාහිත්‍යධරයින් තිදෙනෙකුට මෙවර ද "සාහිත්‍ය රත්න" සම්මානය පිරිනැමේ.

එම සම්මාන සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයන් වෙනුවෙන් ප්‍රදානය කරනු ලැබේ.

සාහිත්‍ය රත්න සම්මානය සමග රු. 75,000/- බැගින් වන මූල්‍ය ත්‍යාග තුනක් ද පිරිනැමෙනු ඇත.

මෙවර රාජ්‍ය සාහිත්‍ය රත්න සම්මානයෙන් පිදුම් ලබන සාහිත්‍යධරයින්මෙසේය.

* මහාචාර්ය ඒ.වී. සුරවීර මහතා
* මහාචාර්ය ඒ. ෂන්මුගදාසන් මහතා
* යැෂ්මින් ගුණරත්න මහත්මිය

සැප්තැම්බර් 14 වන දින මාතර, කඹුරුපිටිය උපාලි විජයවර්ධන ශාලාවේදී පැවැත්වෙන 2008 ජාතික සාහිත්‍ය සම්මාන උළෙලේදී මෙම සම්මාන පිරිනැමීමට නියමිතය.

ජාතික සාහිත්‍ය සම්මාන උළෙල

සැප්. 10 - 2007 වර්ෂය තුළ පළ කරන ලද සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා තුනට අයත් විශිෂ්ටතම සාහිත්‍ය කෘති තෝරා ඒවායේ කතුවරුන් ජාතික මට්ටමින් අගැයීම සඳහා සංවිධානය කෙරෙන 2008 ජාතික සාහිත්‍ය සම්මාන උළෙල සැප්තැම්බර් 14 වන දින ප.ව. 4.00ට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

මාතර, කඹුරුපිටිය උපාලි විජයවර්ධන ශාලාවේදී පැවැත්වෙන මෙම උළෙල සංවිධානය කරනු ලබන්නේ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ ජාතික සාහිත්‍ය අනුමණ්ඩලය විසිනි.

මෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වීමට නියමත අතර විශේෂ සාහිත්‍ය දේශනය ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් පවත්වනු ලබයි.

නවක ලේඛකයින් දිරිමත් කිරීමේ අරමුණින් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව රාජ්‍ය සාහිත්‍ය උත්සවයට සමගාමීව තරගාවලි 3ක් පවත්වනු ලැබිණි.

එනම්, විවෘත අත්පිටපත් තරගාවලිය, ශිෂ්‍ය අත්පිටපත් තරගාවලිය හා ගද්‍ය රචනා, පද්‍ය රචනා, ගීත රචනා හා කෙටි කතා තරගාවලිය වේ. මෙහි ජයග්‍රායකයන් සඳහා ද රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී සම්මාන පිරිනැමේ.

2008 රාජ්‍ය සාහිත්‍ය උත්සවයට සමගාමීව පවත්වනු ලැබූ
විවෘත අත් පිටපත් තරගයේ ජයග්‍රාහී නිර්මාණ

නවකතා - සුදු වැද්දී (පී. ඒ. වී. සිරිපාල කඳමුල්ල)

කෙටි කතා සංග්‍රහ - විප්ලවවාදියාගේ රාත්‍රිය (පී. ඒ. වී. සිරිපාල කඳමුල්ල)

පද්‍ය සංග්‍රහ
1. පොද වැස්ස ගැන ගීය (ගැමුණු පී. දිසානායක)
2. දවල් සිහිනෙන් දුටු කුමරිය (ඩබ්.ජේ. උදයසිරි වික්‍රමරත්න)
3. නීලමණී සහ සයනයිඩ් - ජේ.ජේ. වික්‍රමසේන

දෙමළ නව කතාව - වයලාන් කුරුවි (අසීස් එම්. ෆයිස්)

දෙමළ ‌ෙකටි කතා - පුඩිය ඉට්පාඩු (එස්. තමිල් සෙල්වන්)

ඉංග්‍රීසි නව කතාව - බීන්ග් සික්ස්ටීන් ඇට් ෆෙයරි වුඩ්ස් (සචින්ද්‍රා නිර්මාණි වික්‍රමරත්න)

2008 රාජ්‍ය සාහිත්‍ය උත්සවයට සමගාමීව පවත්වනු ලැබූ
ශිෂ්‍ය අත්පිටපත් තරගයේ ජයග්‍රාහී නිර්මාණ

නව කතා
1. මිහිදුම් පටල ඉරා (දිනුක්ෂි ශ්‍රිෂාණි ෆොන්සේකා)
2. සංසාර පැතුම් (පූර්ණි අඹේපිටිය)
3. මහ වන මැද වික්‍රම (ගයාන් ක්‍රිෂාන්ත)
4. රාදන්ගේ අසිපත (සංජුලා ගුණතිලක)
5. නටුවෙන් ගිලිහුණු රෝස මලක් (චලනි දිලේෂා ආරියසේන)

විද්‍යා ප්‍රබන්ධ
1. සැඟවුණු නගරයේ ආශ්චර්යය (අචිනි දීපිකා සමරකෝන්)
2. චාතුර්යයේ අවසානය (උදානි මනකලා ඒකනායක)

පද්‍ය සංග්‍රහ
1. සඳ සාවි (හංසිනී ගයත්‍රි ලියනගේ)
2. තුන් පෙති මල ( ළහිරු මධුසංඛ දයාරත්න)
3. හද ගැස්ම (නයෝමි මදුපානි කෝනාර)
4. තෘණ පඳුරු (චින්තා පවිත්‍රානි පෙරේරා)

චිත්‍ර කතා - මලිති (ධනුෂ්කා ගයත්‍රි රණසිංහ)

නාට්‍ය රචනා - චුල්ලහංස ගීතාංග නාටකය (චානක කවිඳු ගයාන් සමරතුංග)

ජාත්‍යන්තර සාක්ෂරතා දිනය

සැප්. 08 - වර්ෂ 1965දී යුනෙස්කෝ සංවිධානය විසින් සැප්තැම්බර් 8 ජාත්‍යන්තර සාක්ෂරතා දිනය ලෙස නම් කරන ලදී.

ඒ අනුව 1966 සිට ලොව පුරා රටවල් ජාත්‍යන්තර සාක්ෂරතා දිනය සමරයි.

පුද්ගලයන්ට සහ සමාජයට අධ්‍යාපනයේ ඇති වැදගත්කම ඉස්මතු කිරීමේ අරමුණින් යුනෙස්කෝ සංවිධානය මෙම දිනය නම් කර ඇත.

විශේෂයෙන් ම 2000 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කර ගන්නා ලද "සහශ්‍රක සංවර්ධන ඉලක්ක" යටතේ දෙවන සංවර්ධන ඉලක්කය ලෙස පෙළ ගස්වා ඇත්තේ ද සැමට ප්‍රාථමික අධ්‍යාපනය ළඟා කර දීමේ ඉලක්කය යි. මේ අනුව රටක සංවර්ධනය කෙරෙහි අධ්‍යාපනයෙහි ඇති වැදගත්කම මනාව පැහැදිලි වේ.

සාක්ෂරතාව සහ සෞඛ්‍ය අතර ඇති සබඳතාව කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් 2008 වසරේ ජාත්‍යන්තර සාක්ෂරතා දිනය සඳහා තේමාව ලෙස නම් කර ඇත්තේ "සාක්ෂරතාව හොඳම ඔසුවයි " යන්න ය. සෞඛ්‍ය සම්පන්න සමාජයක් උදෙසා සාක්ෂරතාවෙහි අවශ්‍යතාව ඉස්මතු කරමින් ඒඩ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාව වැනි ‌ලෝක ප්‍රජාවට තවමත් තර්ජනයක් වී ඇති රෝග මර්දනය කෙරෙහි අවධානය යොමු කරවීමට යුනෙස්කෝ සංවිධානය මෙමගින් අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකාව ද ලොව සාක්ෂරතාව ඉහළ රටවල් අතරට එක්වීමට සමත් වී ඇත. විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා මෙරට ක්‍රියාත්මක නිදහස් අධ්‍යාපනය නිසා 92.5%ක (2007 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව) සාක්ෂරතා මට්ටමක් පවත්වා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබේ. එසේ ම 2007 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවට අනුව ලොව රටවල් 190ක් අතරින් 76 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වී තිබේ. ඒ අනුව සෞඛ්‍ය සම්පන්න සමාජයක් සඳහා අධ්‍යාපන‌ෙය් ඇති වැදගත්කම මනාව පැහැදිලි වේ.

සරලව ගතහොත් සාක්ෂරතාව යනුවෙන් හැඳින්වෙන්නේ ලිවීමේ හා කියවීමේ හැකියාවයි. නැතහොත් තමන් දන්නා ඕනෑ ම භාෂාවකින් කියවීමේ, ලිවීමේ, ඇසීමේ හා කථා කිරීමේ හැකියාවයි. එහෙත් වර්තමානයේ ඊට විවිධ කොටස් එක් කරම්න් වඩා පුළුල් අර්ථ කථන රැසක් ලොව පුරා භාවිතයට ගැනේ. විශේෂයෙන් රූප භාවිතයෙන් අදහස් පැවසීමේ හැකියාව ආදිය ඒ අතර වේ.

තාක්ෂණයේ දියුණුවත් සමග පරිගණක භාවිත කිරීමේ හැකියාව හෙවත් පරිගණක සාක්ෂරතාව ද වර්තමාන ලෝකයේ සංවර්ධනය මැනීමේ මිනුම් දණ්ඩක් බවට පත්වෙමින් තිබේ.

සාහිත්‍යයට වෙන් වූ මාසය
සැප්. 05 - මේ සාහිත්‍ය මාසයයි.

සෑම වසරක ම සැප්තැම්බර් 8 වනදා ජාත්‍යන්තර සාක්ෂරතා දිනය ලෙස නම් කර ඇත.

වර්ෂ 1965 නොවැම්බර් 17 දින යුනෙස්කෝ සංවිධානය විසින් ජාත්‍යන්තර සාක්ෂරතා දිනය නම් කරන ලද අතර 1966 සිට සාක්ෂරතා දිනය ලොව පුරා රටවල් උත්සවාකාරයෙන් සමරයි.

පුද්ගලයන්ට සහ සමාජයට අධ්‍යාපනයේ ඇති වැදගත්කම ඉස්මතු කිරීමේ අරමුණින් යුනෙස්කෝ සංවිධානය මෙම දිනය නම් කර ඇත.

2006 වසරේ නිකුත් වූ යුනෙස්කෝ වාර්තාවකට අනුව ලොව අඩු ම වැඩිහිටි සාක්ෂරතාව හිමි කලාපය බවට හඳුනා ගෙන ඇත්තේ, දකුණු ආසියානු හා බටහිර ආසියානු කලාපයි. එහි ප්‍රතිශතය 58.6%කි.

මෙම වාර්තාවට අනුව අධ්‍යාපනය හා දරිද්‍රතාවයෙන් පෙළෙන රටවල් අතර පැහැදිලි සබඳතාවක් දක්නට ලැබේ. එබැවින් ලොව පුරා රටවල් තම රටෙහි අධ්‍යාපනික මට්ටම ඉහළ නැංවීමට සෑම විට ම උත්සහ දරයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව 92.5%ක් (2007 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව) තරම් ඉහළ ප්‍රතිශතයක පවතී.

ශ්‍රී ලංකාව ද සෑම වසරක ම සැප්තැම්බර් මාසය සාහිත්‍ය මාසය ලෙස නම් කර වැඩසටහන් රැසක් සංවිධානය කරයි. ඒ අතරින් ප්‍රධාන තැනක් ජාතික සාහිත්‍ය කලා මහෝත්සවයට හිමිවේ.

මෙම වසරේ ජාතික සාහිත්‍ය කලා මහෝත්සවය සැප්තැම්බර් 11,12,13 සහ 14 යන දිනයන්හි මාතර, කඹුරුපිටිය නාරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වේ. මීට සමගාමීව සංවිධානය කෙරෙන රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ද සැප්තැම්බර් 14වන දින කඹුරුපිටියේදී පැවැත්වේ.

2008 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ ලේඛක/ලේඛිකාවන්
(සිංහල මාධ්‍යය)
හොඳම නව කථාව- අටවක පුත්තු (ලියනගේ අමරකීර්ති)

හොඳම කෙටි කථා සංග්‍රහය - විල්තෙර මරණය (ගුණදාස අමරසේකර)

හොඳම කාව්‍ය සංග්‍රහය - යටි වියන (ලක්ෂාන්ත අතුකෝරළ)

හොඳම ගීත පදමාලා සංග්‍රහය - ආලකමන්දා (රත්න ශ්‍රී විජේසිංහ)

හොඳම යොවුන් සාහිත්‍ය ග්‍රන්ථය - පිය පුතු දෙදෙනා (ලග්ගල එස්. රත්නායක)

හොඳම විද්‍යා ප්‍රබන්ධය - කොළ පැල්ලම (කපිල වීරසිංහ)

හොඳම ශාස්ත්‍රීය ග්‍රන්ථ

1. පැරණි සිංහල විවාහ සංස්කෘතිය (ආචාර්ය ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ)
2. භරත මුනි විරචිත නාට්‍ය ශාස්ත්‍රය (පූජ්‍ය හිරිපිටියේ පඤ්ඤාකිත්ති හිමි)

හොඳම පරිවර්තන නවකථාව - ඇනා කැරනිනා (ස්වර්ණ කාන්ති රාජපක්ෂ)

හොඳම පරිවර්තන කෙටි කථාව - ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ විශිෂ්ට කෙටි කතා (චන්දන මෙන්ඩිස්)

හොඳම පරිවර්තන නාට්‍ය - ඊස් කිලස්ගේ ඔරෙස්ටිනා නාට්‍යත්‍රිකය (ආරියවංශ රණවීර)

හොඳම පිටකවර නිර්මාණය
ග්‍රන්ථය - විචිත්‍ර වීර්යය (සුනේත්‍රා රාජකරුණානායක)
කෘතියේ පිට කවරය - ප්‍රේම් දිසානායක

හොඳම නිමාවෙන් යුත් ග්‍රන්ථය - ගීතනාත් කුඩලිගම (මන් බැඳි පන්හිඳ)

හොඳම මුද්‍රණය සඳහා සම්මානය - එස්.ඇන්ඩ්.එස්. ප්‍රින්ටර්ස්

වසරේ විෂයානුගතව වැඩිම ග්‍රන්ථ සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කළ ආයතනය - එස්.ගොඩගේ සහ සහෝදරයෝ

2008 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ ලේඛක/ලේඛිකාවන්
(දෙමළ මාධ්‍යය)

කාව්‍ය
1. කුරුන්ජිතේනවන් කවිතයිකල් (කුරුන්ජිතෙන්නවන්)
2. තිමිලයිතුමිලන් කවිතයිකල් (තිලිලයිතුමිලන්)

කෙටි කථාව - වරල් මීන්ගල් (එම්.එස්. එම්මානුල්ලාහ්)

නව කථාව - තෝරා ගෙන නැත

නාට්‍ය - පෝති (කික්කෝ)

ළමා සාහිත්‍ය - මාරම් වෙට්ටියුම් ඔරු තෙවතයියුම් ( ඕ.කේ. ගුණනාතන්)

පර්යේෂණ - එල්ලාතු නවීනා කවිතායි (ආචාර්ය එස්.වයි. යෝගරාජා)

පරිවර්තන
1. ඔර රත්තම් (ඩික්වෙල්ලා සබ්වාන්)
2. උලප්පාල් උයන්තවර්ගල් (ආර්. සඳකෝබන්)

2008 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ ලේඛක/ලේඛිකාවන්
(ඉංග්‍රීසි මාධ්‍යය)

නව කථාව - ඩ්‍රැගන්ස් ඉන් ද වයිල්ඩර්නස් (ජේන් අරසනායගම්)

කෙටි කථාව - ෂෝට් ඇන්ඩ් වර්ස් (එච්.ටී.එල්. එබෙල්)

ප්‍රබන්ධ නොවන - මෙමරීස් ඔෆ් කැබිනට් සෙක්‍රටරි (බර්නාඩ් පර්සිවල් පීරිස්)

කාව්‍ය - අයි ඈම් මොඩර්න් මෑන් (කාල් මුලර්)

පරිවර්තන - මාර්ටින් වික්‍රමසිංහස් සිලෙක්ටඩ් ෂෝට් ස්ටෝරීස් (රංග වික්‍රමසිංහ)

ළමා සාහිත්‍ය - ද ස්ටුපෙන්ඩස් ස්ටැච්‍යු (විපුලසිරි අධිකාරි)

එල්.ටී.ටී.ඊ.ය තහනම් කරයි
ගල්කිස්ස දුම්රිය මාර්ගයේ සුළු පිපිරීමක්
'ඉවසුවා ඇති' ඇරඹෙයි
සිරසට එල්ල වූ ප්‍රහාරය ගැන අදත් පාර්ලිමේන්තුවේ වාද විවාද
පුපුරුවා ඇත්තේ එස්.එන්. 96 ක්ලේමෝ බෝම්බයක් - පොලිසිය
සිරස ප්‍රහාරයට සම්බන්ධවූවන් ගැන තොරතුරකට රු. ලක්ෂ 50ක්
සිරසට එල්ල වූ ප්‍රහාරයට එරෙහිව මීගමුවේදී උද්ඝෝෂණයක්
සිරස ප්‍රහාරයට පැති බෝම්බයක් යොදා ගෙන ඇතැයි හෙළි වෙයි
පාර්ලිමේන්තුවේ විවාදාත්මක තත්ත්වයක්
දේශපාලන විසඳුමක වැදගත්කම ඉන්දියාව යළි අවධාරණය කරයි
ගාස්තු අඩු නොකළ බස් 44ක බලපත්‍ර අත්අඩංගුවට
 
 
 
 
 
 
Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
Privacy Statment